ෆොන්සේකා ටිකිරි කුමරු, නැපෝලියන් වගේ…! ඔහුගේ නියෝග රාජාඥාවක් වගෙයි…! යුද ජයග්‍රහණයේ අසමසම නායකත්වය ඔහුගේයි…!

May 6, 2021 at 10:56 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකාගේ නිල ෆේස්බුක් ගිණුමේ පළකර ඇති සටහනකි.

තිස් අවුරුදු සාපලත් යුද්ධය අවසන් කිරීමේ ගෞරවය බදා ගැනීමට එය අවසන් කල දින සිටම විවිධ පාර්ශ්වයන් උත්සාහ දරමින් සිටියි. එහි අලුත්ම කථාංගය වන්නේ ඊයේ පාර්ලිමේන්තුවේදී ඇමති සරත් වීරසේකර විසින් යුද්ධය මෙහෙයවූවන් පස් දෙනෙක් ගැන කර ඇති සඳහනයි. ඒ ඇසූ මොහොතේම ඒ සම්බන්ධයෙන් මගේ අදහස ලියා තබන්නට තීරණය කළෙමි.

යුද ජයග්‍රහණය විශාල කණ්ඩායමක දායකත්වයෙන් සිදුවූවක් බව අවිවාදයෙන්ම පිළිගත යුතුයි. එහෙත් එම යුද්ධය ප්‍රධාන වශයෙන්ම පැවතුනේ ගොඩ බිමය. සතුරා යටත් කරගනිමින් හෝ විනාශ කර දමමින් සතුරාගේ සංග්‍රාමික හැකියාව Combat Capacity බිඳ හෙලීම එහි අවසන් උපාය මාර්ගික අවශ්‍යතාව වුණා. ඒ නිසාම ප්‍රධාන සටන භූමියේ පැවතුනු අතර නාවික හමුදාව මුහුදින් සහ ගුවන් හමුදාව ගුවනින් ඊට අවශ්‍ය සහාය අති විශිෂ්ට ලෙස ලබා දුන්නා.

මේ සටනෙහිදී සතුරාට මුහුනට මුහුන දී සටන් කිරීම සඳහා වැඩි පුරම නිරාවරණය වූයේ යුද හමුදාවයි. එයට සාක්ෂි දිවයින පුරාම සුසාන භූමි වල හමුදා රෙජිමේන්තු ලාංඡනවලින් සහ ජීව දානය ලබාදුන් සෙබළුන් වෙනුවෙන් ඉදිකල බස් නැවතුම් පලවල් වැනි ස්මාරකවලින් සනාථ වෙනවා. දත්ත සහ සංඛ්‍යා ලේඛනවලට බොරු කළ නොහැකිය.

දැන් මේ සටනේ ජයග්‍රහණයට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ නායකත්වය ‘අසමසම’ හෙවත් වෙනත් කිසිදු අයෙකුගේ දායකත්වයට සමාන නොවන්නේ මන්ද?

1. ෆොන්සේකා සීතාවක රාජසිංහ රජු මෙන් ‘යුදට උපන් කුමරෙක්’ වන නිසාය. ඔහු නිර්දය මිනිසෙකි. ඔහු ඉලක්ක හඹා යද්දී වෙනත් කිසිදු කරුණකින් නොසෙල් වෙන්නෙකි. එය ඉංග්‍රීසි බසින් කිවහොත් Ruthlessness යන වචනයෙන් නිර්වචනය කල හැකිය. එනිසාම ඔහුගේ අණසකට යටත් වූවන් සියල්ලම කටයුතු කළේ ඔහුගෙ නියෝගය ‘රාජ ආඥාවක්’ ලෙස සලකාය. සුප්‍රකට ‘ඉස්සරහට ගියොත් ජොනී ….. පස්සට ආවොත් ෆොනී’ යන හමුදා වහර හැදුනේත් එනිසාය. ප්‍රහාරයේදී ෆොන්සේකා සමාන කළ හැක්කේ රෝම අධිරාජ්‍යට පහර දුන් ‘ඇටිලා’ හටය. ඔහු එතරම්ම නිර්දය ප්‍රහාරකයෙකි.

2. අත්හැර නොදමනා වීර්‍යය ඔහු සතු ඊළඟ ගුණයයි. 2000 අප්‍රියෙල් මස අලිමංකඩ බිඳ වැටීමත් සමග කොටින්ගේ ‘නොනවතින් රැල්ල’ මෙහෙයුම සෘජුවම දිශාගත වූයේ යාපනය අර්ධ ද්වීපය වෙතය. එම රැල්ල පලෙයි ප්‍රදේශයෙන් නැවැත්වූයේ ෆොන්සේකාගේ නායකත්වය සැළසුම් සහ මග පෙන්වීම යටතේ සටන් කල පිරිසක්. ඒ වනවිට යාපනය ජනරාල් ජානක පෙරේරා යාපනය ආඥාපති වුවද ගොඩබිම ‘රක්ෂණීය සටන’ ට මුළුමනින්ම නායකත්වය දුන්නේ ෆොන්සේකායි.

3. සටනේ රිද්මය (Battle Rhythm) අඛණ්ඩව පවත්වා ගැනීමට ඔහු සතු හැකියාව. සරත් ෆොන්සේකා මහතා සතුව පැවති වෘත්තීය හැකියාවන් ගනනාවක සංකලනයක් මීට හේතු විය. ඒවා අතරින් ප්‍රධානම ඒවා වන්නේ ‘ක්ෂණයකින් සටන කියවා ගැනීම / අවබෝධ කරගැනීමේ හැකියාව Battle Reading Ability, අවස්ථාවට සුදුසු ප්‍රථිචාරය එසැනින් තීරණය කිරීමේ හැකියාව, Ability in Deciding Swift Reaction ව්‍යසන කළමනාකරන හැකියාව, සතුරාගේ උපාය මාර්ග කලින්ම නිශ්චය කරගැනීමේ හැකියාව Ability to predict enemy strategies ආදියයි.

4. යුද්ධය බොහෝ කාලයක් ඇදීයාමට හේතුවුනු එක් ප්‍රධානම සාධකයක් වූයේ යුද්ධයට ‘නව සංකල්ප’ නොමැති වීමයි. “ඔබ එකම සතුරා සමග දීර්ඝ කාලයක් එකම ආකාරයෙන් සටන් නොකල යුතුයි. එමගින් සිදුවන්නේ සතුරා ඔබේ සියළු උපක්‍රම ඉගෙන ගැනීමයි” You Must not Fight too often with the same enemy, Or you will teach him all your Art of War. කියා නැපෝලියන් කියා ඇත්තේ එනිසාය. සරත් ෆොන්සේකා මහතා යුද්ධයට නව සංකල්ප ගණනාවක් එක් කලා. ඒ පිළිබඳව දීර්ඝ විස්තරයක් මගේ “මිනිසුන් මෙහෙයවීමේ කලාව” පොතට මා ඇතුළත් කලා. ඔහුගේ ඒ භූමිකාව සමාන කළ හැක්කේ දෙවන ලෝක යුද සමයෙහි බුරුම මෙහෙයුමේදී පරාජය වී සිටි බ්‍රිතාන්‍ය මිත්‍ර සංධානයට අයත් 14 වන හමුදාවේ 14th Army Group අධිපතිව සිටි ෆීල්ඩ් මාර්ෂල් විස්කෞන්ට් ස්ලිම් ගේ “පරාජයේ සිට විජයග්‍රහනය’ දක්වා වූ භූමිකාවටයි. වන්නියෙන් පසු බැසීම, අලිමංකඩ පරාජය ආදී එක දිගට අඛණ්ඩව පසුබෑම් වලට ලක්ව සිටි හමුදාවක් නැවත ජයග්‍රාහී මාවත වෙත යොමු කරවීමට ෆොන්සේකා ලබාදුන් නායකත්වය එතරම්ම අසමසමය.

5. සතුරාගේ මනස විනිවිද ගොස් ඔවුන්ගේ දුර්වල තාවයන් අපේ ශක්තිය බවට හැරවීමේදී මා ඔහු සමාන කරන්නේ ‘හනිබාල්’ නම් කාර්තේජියානු සෙන්පතියා හටය. හනිබාල් එවකට අභියෝග කල නොහැකි තරමේ පැවති රෝම අධිරාජ්‍යයට පහර දීමේදී යොදාගත්තේ රෝම සෙන්පතියන් විසින් කිසිකලෙක අනුමාන නොකල දුෂ්කරම ප්‍රවේශය වන ඇල්ප්ස් කඳුවැටිය තරණය කරමින් උතුරින් පහර දීමයි. එහිදී ඔහු කාර්තේජිනියන් අධිරාජ්‍යයට අයත් උතුරු අප්‍රිකානු රට වලින් අල්ලාගත් අලින් ගෙන් සමන්විත ප්‍රහාරක ඇත් බළ සේනාවක්ද යොදාගත්තා. ෆොන්සේකා තම හමුදාව තුල එවැනි නවෝත්පාදක වෙනස්කම් රාශියක් හඳුන්වා දුන්නා.

6. ඔහු සතු අධිෂ්ඨානශීලිත්වය නිසාම ඔහු සටන භාරගත්තේ “මේ සටන මම මීළඟ යුද හමුදාපතිවරයාට භාර නොදෙමි” කියාය. මීට සමාන කියමනක් දෙවන ලෝක යුද සමයේ ආසියා පැසිෆික් පෙරමුණෙහි අණදෙන නිලධාරීව සිටි ජනරාල් ඩග්ලස් මැක් ආතර විසින්ද කියා තිබුනා. ජපන් අධිරාජ්‍ය හමුදා ප්‍රහාරයට ලක්ව කුප්‍රකට ‘බටාන්ග් මරණය කරා මාච් කිරීම’ Batang Death March පසුබෑමෙන් පසු සතුරාට ජීවග්‍රාහයෙන් අසුවීමට ඔන්න මෙන්න කියා තිබියදී ඔහුට ඇමරිකාවෙන් නියෝගයක් ලැබෙනවා “වහාම ඔතනින් ඉවත්වන්න’ කියා. අකමැත්තෙන් ෆිලිපීනයේ කොරිගිඩෝර් දූපතේ සිට පසුබැසීමට පෙර ඔහු කියා සිටියේ ” මම ආපහු එනවා” I shall Return කියායි. ඔහු ආපසු පැමිණ ෆිලිපීනය පමනක් නොවෙයි ජපානය ම යටත් කරගැනීමට නායකත්වය දුන්නා.

7. ධෛර්යවන්ත භාවයේදී මා ෆොන්සේකාට සමාන කරන්නේ ජෝර්ජ්.එස්. පැටන්ටය. බල්ගේරියාව සඳහා වූ සටනේදී ඔහු අනුගමනය කළ උපායමාර්ගයට සමාන උපාය මාර්ගයක් ෆොන්සේකා විසින් අනුගමනය කළ අවස්ථා ගනනාවකි. මාවිල් ආරු සටනට ඔහු අවතීර්ණ වන්නේ හමුදා මූලස්ථාන ප්‍රහාරයෙන් බොකු බඩවැල අතින් ගෙන සිංගප්පූරුවේ සිට කෙලින්ම පැමිණෙමින්ය. මාවිල් ආරු සටන අරඹන ඔහු දේශපාලන බලාධිකාරියට පවා නොදන්වා එක් වරම පෙරමුණු කිහිපයක් විවෘත කළා. එකක් මාවිල් ආරුවට උතුරින් සාම්පූර් හිදීත්, අනෙක දකුණින් වාකනේරිහිදීත්ය. ඒ සමගම වවිනියාවේ බටහිර පොම්පෙමඩු ප්‍රදේශයෙනුත්, උතුරින් මුහමලේ ප්‍රදේශයෙනුත් පෙරමුණු විවෘත කළේ කිසිවකුගේ අනු දැනුමින් තොරවයි. ඔහුගේම වචන වලින් කිවහොත් ‘ඒ ස්ථානවල මම කොකු ගහ ගත්තා’. ඒ වැඩය මට සමාන කල හැක්කේ ජනරාල් පැටන් බල්ගේරියාව සඳහා වන සටනෙහිදී Battle of the Bulge බැස්ටගෝන් නගරය රක්ශාකිරීම සඳහා යොදවා සිටි ඇමරිකන් හමුදාවේ 101 වන ගගන ජාත (Airborne) සේනාංකයට ආධාර කිරීම් වස් තම ප්‍රහාරයේ දිශාව අංශක 90 කින් වෙනස් කරමින් ජර්මානු ප්‍රහාරක සේනාංක විනිවිද ගොස් එය අල්ලා ගැනීමටය.

8. සතුරාට වඩා ඉදිරියෙන් සිටීමේදී මා ඔහු සමාන කරන්නේ 1967 ඊශ්‍රායල් අරාබි යුද්ධයට නායකත්වය ලබාදුන් මොෂේ දයාන් සෙනවියා හටය. තමන්ට පහර දීමට අරාබීන් සැරසෙන බවට ඉව වැටීමෙන් සතුරාට පෙර තමන් ක්‍රියාත්මක වීම නිසාම එදා ඊශ්‍රායලය ඉතිරි වුණා.

සරත් ෆොන්සේකා යනු නිකම්ම යුද සෙනවියකු නොව, ලෝක ඉතිහාසයේ මහ සෙනවියන් ගණනකගේම එකතුවකි. ඔහු අප වැනි දිවයිනකට වඩා, ලොකු රටකට වටිනා සෙන්පතියෙකි. මේ සියල්ලම අතර ඔහු තුළ ද පෘතග්ජන ඕනෑම මිනිසකු තුල තිබිය හැකි දුර්වලතාවන් තිබිය හැක. ඔහු බෝධි සත්වයකු නොවේ. බෝධි සත්වයෙකුට සංග්‍රාමයක් මෙහෙයවන්නට නොහැකිය. තමන්ගේ කටයුතු අවුල් කරන්නට තැත් කරන හෝ තමන් සමග පැටලිලි හදා ගන්නන් හට ඔහු කරුණාවක් නොදක්වයි.

එහෙත් ඒ සියල්ල පසෙක තිබියදී ඔහුගේ ඓතිහාසික භූමිකාව නම් අසමසමය. එයට සමාන කිරීමට කිසිවෙකු අපේ රට තුළ නම් නැත. ඔහු මේ අවස්ථාවේදී කළ යුතු වන්නේ ඔහුට පහර දෙන සතුරන් සමග පැටලීම නොව ඔහුගේ එම අසමසම භූමිකාව සනාථ වන තොරතුරු සහ සාධක ඇතුළත් පොතක් එලි දැක්වීමය. එයට ” කිසිවෙකුට ඉතිරි නොකළ අභියෝගය” යයි නම් තබන්නට යයි මම යෝජනා කරමි.

ඔහු වෙනුවෙන් පුර වැසියෙකු වශයෙන් මට කළ හැකිවූ එක් දෙයක් මම කළෙමි. මිනිසුන්ට නායකත්වය සපයන්නේ කෙසේද යන මාතෘකාව ගැන “මිනිසුන් මෙහෙයවීමේ කලාව” නමින් මා ලියූ පොත පසුගිය මාර්තු මස 05 වන දා ඔහුට පුද කළෙමි.

channa karunarathne fb

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස