සලකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපගත් ගුරුවරයාට වැඩ වරදියි!

July 19, 2020 at 11:30 am | by emanisa.lk

සලකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකාවක් සිය ජංගම දුරකථනයෙන් ඡායාරුපගත කළ මුතුර් අධ්‍යාපන කලාපයට අයත් පාසලක සේවය කරන ගුරුවරයෙකුට එරෙහිව හෙට (20) මුතුර් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බව මුතුර් පොලිසිය පවසයි.

මහා මැතිවරණය සඳහා රාජ්‍ය සේවකයන්ට තැපැල් ජන්දය සලකුණු කිරීමට තිබු ඉකුත් 15 වැනිදා මුතුර් කලාප අධ්‍යාපන කාර්යාලයට තැපැල් ඡන්ද සලකුණු කිරිමට පැමිණි මෙම පාසල් ගුරුවරයා සිය ජංගම දුරකථනයෙන් සලකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකාව ඡායාරුපගත කර ඇති අතර සැකකරුගේ ජංගම දුරකථනය මැතිවරණ නිලධාරින් සිය භාරයට ගෙන තිබේ.

සැකකාර පාසල් ගුරුවරයා තම තැපැල් ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත්තේ තම පුංචි පුතා ඡන්දයක් යැයි කියන්නේ කුමක්දැයි නිතර විමසන නිසා ඔහුට එය තේරුම් කර දීමට සලකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ජංගම දුරකථනයෙන් ගත් බවයි.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වන නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් (නැගෙනහිර) එස්. සුදාකරන් පැවසුවේ ආදර්ශ ජන්ද පත්‍රිකා ළඟ තබා ගැනීම, ජන්ද පත්‍රිකාවක ඡායාරූප ගැනීම 1981 අංක 01 දරන පාර්ලිමේන්තු ඡන්ද විමසිම් පනතේ 66 වගන්තිය අනුව වරදක් බවය.

එබැවින් සැකකරුගේ ජංගම දුරකථනය හා ලබාගත් ප්‍රකාශ වැඩිදුර විමර්ශන සඳහා මුතුර් පොලිසියට ලබා දී තිබේ. මුතුර් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩී.එම්.අයි.කේ. දිසානායකගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස