දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට ඉදිරි මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලබා දෙනවාද, නැද්ද යන්න පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි.
මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (24) එජාප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.
ඉදිරි මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලබා දීම පිළිබඳ අවසන් තීරණය ගනු ලබන්නේ නාම යෝජනා මණ්ඩලය විසින් බවද මහලේකම්වරයා පැවසීය.
‘දැනට විනය ක්‍රියාමාර්ග ගැනුණු පිරිසකුත් පක්ෂයේ සිටිනවා. ඒ අයටත් නාම යෝජනා දෙනවද නැද්ද කියන එක තවම තීරණය කරලා නැහැ.
ඒ වගේම පසුගිය වකවානුවේ දුර්වල සංවිධායකවරුන් ලෙස හඳුනාගත් පිරිස් ඉවත්කර අදාළ ආසන සඳහා දක්ෂතා සහිත නව සංවිධායකවරු පත්කරන්නත් තීරණය කර තිබෙනවා. දැනටමත් ආසන සංවිධායක ධුර වෙනුවෙන් අයැදුම්පත් විශාල සංඛ්‍යාවක් ලැබිලා තියෙනවා. ඉදිරි සතියක කාලය ඇතුළත පවතින සියලුම පුරප්පාඩු සඳහා ආසන සංවිධායකවරු පත්කර අවසන් කරනවා.’