සජිත් කළේ හකීම් බදියුදීන් මනෝ කළ වැඩේමයි! ඩයනා ලවා 20ට ඡන්දේ දීලා සජිත් නොදී හිටියා! – රංගේ

October 26, 2020 at 12:28 pm | by emanisa.lk

සජිත් ප්‍රේමදාස, රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් ආණ්ඩුව සමඟ ඩීල් එකක් දමා ඇති බව හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසායි.

එජාපයට ආණ්ඩුව සමඟ ඩීල් ඇතැයි බොහෝ පිරිසක් පැවසුව ද ඩීල් එක ඇත්තේ කා සමඟ ද යන්න 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය ලබා දෙන අවස්ථාවේ පැහැදිළිව පෙනුණු බව ද රංගේ බණ්ඩාර එහි දී ප්‍රකාශ කළේ ය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස පක්ෂයේ රැඳෙමින් පක්ෂයේ අයිතිකාරිය වන ඩයනා ගමගේ ආණ්ඩු පක්ෂයට දුන් බවත්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන් සහ රවුෆ් හකීම් ද සජිත් ප්‍රේමදාස ළඟ රැඳෙමින් සිය පක්ෂ සාමාජිකයන් ආණ්ඩුවට ලබා දුන් බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ ය.

20ට සහාය ලබා දීම තුළින් ඩීල් දමා ඇත්තේ කා සමඟ ද යන්න වඩාත් හොඳින් විද්‍යාමාන වූ බව ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේ ය.

ආණ්ඩු පක්ෂයට සහාය ලබා දුන් පිරිසට එරෙහිව සමගි ජන බලවේගය විනය පරික්ෂණ පවත්වන බව පැවසුව ද විනය පරික්ෂණ පවත්වා පියවර ගන්නේ කෙසේ දැයි රංගේ බණ්ඩාර එහි දී ප්‍රශ්න කර සිටියේ ය.

රංජිත් මද්දුමබණ්ඩාර හෝ සජිත් ප්‍රේමදාස විසින් දැන් විනය පරික්ෂණ පවත්වන බව කිව්වත් එය වැඩක් නැති බවත් කළ යුතු දේ දැන් කළ අවසන් බවත්, රාජපක්ෂලා සමඟ සජිත් ඇතුළු නායකයන් පිරිස ඩීල් දමා ඡන්ද 156ක් ලබා දුන් බව ද දැන් මිනිස්සු රැවටීමට කතා කියා පලක් නැති බව ද හෙතෙම වැඩි දුරටත් පැවසී ය.

යු.ඇන්.පී ය කඩා නො දමා එකට තබා ගෙන ඉදිරියට යා හැකි නායකයා කවුරු ද යන්නත්, ගිය නායකයා කවුරු ද යන්නත්, 47 දෙනෙකුගෙන් ආණ්ඩුවක් කළ හැක්කේ කාට ද යන්නත් දැන් ජනතාව අවබෝධ කරගත යුතුව ඇති බව රංගේ බණ්ඩාර සිය මාධ්‍ය හමුවේ දී සඳහන් කර සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස