වරාය නගර කොමිසමේ සියලූ සාමාජිකයින් ශ‍්‍රී ලාංකිකයින් විය යුතු බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.
පසුගියදා (25) කොළඹ සම්බුද්ධත්වය ජයන්ති මන්දිරයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී එසේ කී හෙතෙම වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය නමින් අපි මේ මුල පුරමින් සිටින්නේ ශ‍්‍රී ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් විශාල බලපෑමක් කළ හැකි දැවැන්ත ව්‍යාපෘතියකටයි. ඒ නිසා අප සියලු දෙනාගේ යුතුකම සහ වගකීම එහි සාර්ථකත්වය සඳහා අවශ්‍ය උපරිම සහයෝගය ලබාදීමයි.
කොළඹ වරාය නගරය කොමිෂන් සභා පනත් කෙටුම්පතේ වරාය නගර ආර්ථික කොමිසමේ සාමාජිකයින් ගැන ඇත්තේ එකම වගන්තියක් විතරයි. ඒ ජනාධිපතිවරයා විසින් අවම සාමාජිකයින් 5ක් සහ උපරිම සාමාජිකයින් 7ක් දක්වා කොමිසම් සභාවට සාමාජිකයින් පත්කළ යුතුයි යනුවෙන්. ඒ පත් කිරීම් වෙනත් කිසිදු නිර්ණායකයකට හෝ වෙනත් ආයතනයක සුපරීක්ෂණයකට හෝ යටත් කිරීමක් මෙහිදී සිදු කර නැහැ.
මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර අවස්ථා දෙකකදී වරාය නගරයේ පරිපාලනය සම්බන්ධව සංකල්ප පත‍්‍රිකා දෙකක් ඉදිරිපත් වී තිබෙනවා. පළමු වැන්න, පැවැති යහපාලන රජය සමයේ, එනම් 2019 සැප්තැම්බර 09 දිනැති සංකල්ප පත‍්‍රිකාව. ඒ වගේ ම අපේ ආණ්ඩුව යටතේ, 2020 ජුනි 16 වැනිදා අග‍්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ඉදිරිපත්කළ සංකල්පීය පත‍්‍රිකාවක් ද සාකච්ඡුාවට බඳුන් වී තිබෙනවා.
මේ පත‍්‍රිකා දෙකම වරාය නගරය යම් අමාත්‍යංශයක් යටතේ පැවැතිය යුතුය යන පදනමේ සිට සකසා තිබෙනවා. ඒවගේම මේ පත‍්‍රිකා දෙක තුළම වරාය නගර ආර්ථික කොමිසමේ සාමාජිකයින් ලෙස මේරටේ රාජ්‍ය සේවයේ විවිධ නිලතල දරන්නන් නිල වශයෙන් පත්විය යුතු බවට යෝජනා වී තිබෙනවා. පැවැති ආණ්ඩුව සිය පත‍්‍රිකාව මඟින් කොමිසමේ සාමාජිකයන් ලෙස මහ බැංකු අධිපතිතුමා, මුදල් අමාත්‍යංශ ලේකම්තුමා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා ආදි වශයෙන් රජයේ නිල තනතුරු දරන පිරිසක් පත්විය යුතු බව යෝජනා කර තිබෙනවා.
මහින්ද රාජපක්ෂ අගමැතිවරයා යටතේ ඉදිරිපත් කළ සංකල්ප පත‍්‍රිකාවෙන් එය තව දුරටත් ඉදිරියට ගෙන ගොස් සභාපතිට අමතරව සාමාජිකයින් දහ දෙනෙක් පත්විය යුතු බවත්, ඒ සඳහා මහ බැංකු අධිපතිතුමා, මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා, කොළඹ වරාය නගරය භාර අමාත්‍යංශයේ ලේකම්තුමා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා, ආයෝජන මණ්ඩලයේ සභාපතිතුමා, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිතුමා, විනිමය හුවමාරු කොමිසමේ සභාපතිතුමා ආදීන් නිල වශයෙන් පත්විය යුතු බවත් යෝජනා කර තිබෙනවා.
මේ තනතුරු දරන රාජ්‍ය නිලධාරීන් අනිවාර්යෙන්ම ශ‍්‍රී ලාංකිකයින් වන නිසා පෙර කී යෝජනා දෙක අනුවම වරාය නගර ආර්ථික කොමිසමේ සාමාජිකයින් බහුතරය නිතැතින්ම ශ‍්‍රී ලාංකිකයින් වීම සහතික කෙරෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ නිල වගකීමක් හොබවන පිරිසක් කොමිසමේ බහුතරය බවට පත්වෙනවා. එයට අමතරව ඉහත සංකල්පීය පත‍්‍රිකාවන්හි සාමාජිකයින් තිදෙනකු පත්කිරීමේ අවස්ථාව ජනාධිපතිවරයාට නැත්නම් කොළඹ වරාය නගරය භාර අමාත්‍යංශයේඇමැතිවරයාට හිමිව තිබෙනවා.
මේ වගේ හරවත් සංවාදයකට පසු කිසිම නිර්ණායකයක් නොමැතිව ජනාධිපතිවරයා විසින් කොමිසමේ සාමාජිකයින් පත්කළ යුතුය කියන ස්ථාවරයට යෑම අපට තේරුම් ගත නොහැකි කාරණාවක්. අපි මෙතැනදී සලකා බැලිය යුත්තේ වර්තමාන ජනාධිපතිවරයා ගැන පමණක් නෙමෙයි. වරාය නගරයේ අන්තර් කාලීන කටයුතු අවසන් වන විට 2028 වෙනවා. ගොඩනැඟූ සමාගම සමඟ අප අවුරුදු 100ක් සඳහා ගිවිසුමකට බැඳී සිටිනවා. මේ කාලය තුළ අවම වශයෙන් ජනාධිපතිවරණ 20ක් පැවැත්වීමට නියමිතයි.
යුතුකම සංවිධානය විදිහට අපි විශ්වාස කරනවා, මේ කොමිසමේ සියලූ සාමාජිකයින් ශ‍්‍රී ලාංකික පුරවැසියන් විය යුතු යි කියා. ඒ වගේම මේ කොමිසමේ බහුතරය මහ බැංකු අධිපතිතුමා, මුදල් අමාත්‍යංශ ලේකම්තුමා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා ආදි රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත විය යුතුයි කියා.
බොහෝ දෙනෙක් වරාය නගර කොමිසම ගැන කතා කරද්දී 1978 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා පත් කළ මහ කොළඹ ආර්ථික කොමිසම ගැන කතා කරනවා. එහෙත් යම් යම් දේශපාලන කැළඹිලි මැදින් අපි එතැන් සිට, 17 වන, 18 වන, 19 වන සහ 20 වන ව්‍යවස්ථා සංශෝධන ඔස්සේ ගමන් කරතිබෙනවා.එමඟින් ජනාධිපතිවරයාගේ පත්කිරීම් යම් ආකාරයකට පාර්ලිමේන්තුවට යටත් කෙරෙන, එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ සුපරීක්ෂණයකට ලක් කෙරෙන තත්ත්වයක් නිර්මාණය කොට තිබෙනවා.
78 ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, නීතිපති, මැතිවරණ කොමිසමේ සාමාජිකයන් පත්කිරීමේ බලය තිබුණා. එහෙත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඒ පත්කිරීම් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත් කළා. 20 වන සංශෝධනයට අනුව ඒ පත්කිරීම් කථානායක, අගමැති, විපක්ෂ නායක ප‍්‍රධානත්වය දරන පාර්ලිමේන්තු කවුන්සිලයට දැනුම් දිය යුතුයි.ඒ කවුන්සිලයේ නිරීක්ෂණ ලබාගත යුතු යි.
පහුගිය ආණ්ඩුව ඉදිරිපත් කළ සංකල්පීය පත‍්‍රිකාවේ වරාය නගර කොමිසම් සභාවට ජනාධිපති කරන පත්කිරීම් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යොමු කළ යුතු බව සඳහන් වෙනවා. මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉදිරිපත් කළ සංකල්පීය පත‍්‍රිකාවෙත් ඒ කාරණාව සඳහන් වෙනවා. ඒ සංකල්පීය පත‍්‍ර තවදුරටත් දියුණු කිරීම වෙනුවට ඒ කරුණු අපේ ආණ්ඩුව ගෙන ආ පනත් කෙටුම්පතින් මඟ හැරුණේ කොහොමද කියන කාරණය අපට වටහාගන්න අපහසුයි.
මෙහිදී මතුවිය හැකි ප‍්‍රශ්නයක් තමයි කොළඹ වරාය නගරය ලෝකයේ ආර්ථික මර්මස්ථානයක් බවට පත්කිරීමට අවශ්‍ය විශේෂඥ දැනුම ඇති විදේශීය විශේෂඥයන් ගේ සහාය ලබාගන්න බැරිද කියන කාරණය. එහෙත් එය ප‍්‍රශ්නයක් නොවෙයි. වරාය නගරය පාලනය සඳහා අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්, විශේෂඥයන්, උපදේශකයින් පත්කර ගැනීමේ සම්පූර්ණ අයිතිය කොමිසමට ඇති බව මේ පනත් කෙටුම්පතේම සඳහන් වෙනවා. ඒනිසා කොමිසමට පුළුවන් අවශ්‍ය නම් විදෙස් විශේෂඥයින් සේවයට බඳවා ගෙන වරාය නගරය ගොඩනඟන්න. ඔවුන්ගේ දැනුම භාවිත කරන්න.
ඒ වගේ ම වරාය නගරයේ පොදු කටයුතුවලට වෙන් වන ඉඩම්වලට අමතරව චීන සමාගමට සහ ලංකා ආණ්ඩුවට අයත් ඉඩම් විවිධ ව්‍යාපාර කටයුතුවලට බදු දීමේ අවස්ථාව තිබෙනවා. 7 වන පිටුවේ 6. ඉ, ඊ. වගන්තිවලින් ඉඩම් ප‍්‍රදානය කිරීමේ බලයත් කොමිසමට පවරා තිබෙනවා. මේ සියලූ ඉඩම් රාජ්‍ය අයිතියට යටත්ව පැවැතිය යුතු බවත් ඒවා ව්‍යාපාරික කටයුතු සඳහා බදු දීම මිස මුළුමනින් පවරා දීමක් සිදු නොවිය යුතු බවත් අප විශ්වාස කරනවා.
ඒ වගේ ම වරාය නගරයේ ආයෝජකයින්ට වුවමනා මධ්‍යම පරිසර අධිකාරිය, ශ‍්‍රී ලංකා මහ බැංකුව ඇතුළු රජයේ ආයතන මඟින් ලබා ගතයුතු අනුමැතියන් කොමිසම මඟින් ම ලබාදීමට මේ පනත් කෙටුම්පතේ 3 වන පිටුවේ 5 වන වගන්තියේ යෝජනා කර තිබෙනවා. එහි කොමිසම් සභාව අදාළ රාජ්‍ය ආයතන වෙත සිදු කරන ඉල්ලීම් සඳහා ප‍්‍රමුඛත්වය ලබා දෙමින් වහාම අදාළ එකඟත්වය ලබාදිය යුතු බව සඳහන් වෙනවා. ඒසඳහා ප‍්‍රමුඛත්වය ලබා දීම කිසිම ප‍්‍රශ්නයක් නෙමෙයි. එහෙත් මධ්‍යම පරිසර අධිකාරිය හෝ මහ බැංකුව හෝ වෙනත් ඕනෑම රාජ්‍ය ආයතනයක් මඟින් කළ යුත්තේ කොමිසම යොමු කරන ව්‍යාපෘති යෝජනා සඳහා අනුමැතිය ලබා දිය හැකි නම් කඩිනමින් අනුමැතිය ලබාදීම හෝ නොහැකි නම් ඒසඳහා හේතු දැක්වීමයි. අදාළ වගන්තියෙන් අදහස් කරන්නේ මේ ක‍්‍රියාවලිය විය හැකියි. එහෙත් මෙය පනතක් නිසායි. පසුව ඒ වගන්තිය අධිකරණයකදී වෙනත් ආකාරයක අර්ථ දැක්වීමක් සඳහා භාවිත කළ හැකි නිසා යි, අපි එය පෙන්නුම් කරන්නේ.
දිවයින