රාජාංගණේ හැර රට පුරා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අද සිට!

July 13, 2020 at 7:29 am | by emanisa.lk

2020 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (13) සිට ආරම්භ වෙයි. අද සිට ලබන 17 වැනිදා දක්වා තැපැල් ඡන්ද අයදුම් කළ ඡන්ද දායකයන්ට කාණ්ඩ කිහිපයක් යටතේ තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යයාලවල කාර්යය මණ්ඩලවලට අද (13) උදෑසන 09.00 සිට පස්වරු 04.00 දක්වා කාලය තුළ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව සලසා දී ඇත.

ඒ පිළිබඳ වැඩිදුර කරුණු දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශී‍්‍ර රත්නායක කියා සිටියේ හෙට සහ අනිද්දා මැතිවරණ දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පොලිස් දෙපාර්තමේන්තුව සහ ත්‍රිවිධ හමුදාව හැර අනෙකුත් රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදු කරනු ලබන බවය.

16 සහ 17 දෙදින තුළ මැතිවරණ දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පොලිස් දෙපාර්තමේන්තුව සහ ත්‍රිවිධ හමුදාව ඡන්දය සලකුණු කරනු ඇති බව ද ඔහු පැවසීය. අදාළ දිනයන්හීදි තමන්ගේ රාජකාරී කටයුතු ඉටු කරන ලෙස ඉල්ලීමක් හෙතෙම ඉල්ලා සිටියේය.

අදාළ දිනයන්හිදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන ඡන්දදායකයන්ට මේ මස 20 සහ 21 යන දිනවලදී තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීමට තවත් අවස්ථාවක් ලබා දී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශී‍්‍ර රත්නායක වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, අනුරාධපුර රාජාංගණය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තැපැල් ඡන්ද ප‍්‍රකාශ කිරීම අද (13) දිනයේ අත්හිටුවීමට තීරණය කර තිබේ.

මැතිවරණ කොමිසම පැවසුවේ රාජාංගණය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස