රංජන්ට සමාව දෙන්න ජනාධිපතිතුමා එකඟ වුණා….! ආණ්ඩුව විපක්ෂය මර්දනය කිරීමේ වැඩපිළිවෙළක ඉන්නවා…! – තිස්ස..

April 30, 2021 at 10:30 am | by emanisa.lk

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරුවෙකු වී සිවු අවුරුදු සිර දඩුවමකට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව දීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකඟතාව පළ කොට ඇතැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක 28 දින අඟුණකොළපෑලැස්සේදී පැවසීය.

අඟුණකොළපෑලැස්ස බන්ධානාගාරයේ සිටින රංජන් රාමණායකගේ සුව දුක් බැලීම සදහා පැමිණි පාර්ලිමෙන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මාධ්‍ය හමුවේ එසේ පැවසීය.

“දැන් රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රී තුමා මාස 04 ක පමණ සිර දඩුවම් විඳ තිබෙනවා. එතුමා සිරගතව සිටින්නේ අපරාධකාරයෙක් විධියට නොවේ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අධිකරණයට අපහාස කිරීම හේතු කොට ගෙන කෙසේ දඬුවම් දිය යුතුද යන්න මෙටර නීති පොත්වල සඳහන්ව නෑ. එහෙම තත්ත්වයක් තුළ තමයි එතුමා බන්ධනාගාර ගත්ව සිටින්නේ.

රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව දීමට පක්ෂ විපක්ෂ හැමෝම අකමැති වෙන එකක් නෑ. එතුමාත් අපෙක්ෂාවෙන් ඉන්නවා හැකි ඉක්මනින් බන්ධනාගාරයෙන් නිදහස්ව එන්න. විපක්ෂ නායකතුමා පවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබුණා රංජන් රාමනායක හිටපු මන්ත්‍රීතුමාට සමාව දෙන ලෙසට. ඊට ජනාධිපති තුමා එකඟ වී පවසා තිබෙනවා අදාළ ලියකියවිලි සකස් කොට එම ඉල්ලීම සිදු කරන්නට කියා. අපේ බලා පොරතේතුවක් තිබෙනවා නුදුරු දිනයකදීම රංජන් රාමනායක මහතාට බන්ධනාගාරයෙන් නිදහස්ව එන්නට හැකිවේ යැයි කියා.

එමෙන්ම රට තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් යන කොවිඩ් වසංගතය මර්දනය කිරීම සදහා දියත් කොට ඇති ආණ්ඩුවේ වැඩ පිළිවෙළ පිළිබදව ගැටළු තිබෙනවා. ආණ්ඩුව කොහොම කිවුවත් මේ වසංගතය අද වෙන විට සමාජගත වී හමාරයි. ආණ්ඩුවේ කොවිඩ් එන්නත් වැඩ පිළිවෙළ පිළිබදව සතුටු වෙන්න බෑ. ඒ පිළිබදව ගැටළු තිබෙනවා.

එමෙන්ම ආණ්ඩුවට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන අය මර්දනය කිරීමේ ක්‍රියාවලියකද ආණ්ඩුව යෙදෙමින් ඉන්නවා. එහි එක් ප්‍රතිඵලයක් විධියට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රී වරයා අත්අඩංගුවට ගන්න ආණ්ඩුවේ සූදානමක් තිබෙනවා. නීතිය කාටත් එක ලෙස ක්‍රියාත්මක විය යුතුයි කියා අපි කල්පනා කරනවා.

කම්කරු දිනයේ විරුද්ධ පක්ෂයේ නැගිටීම පාලනය කිරීම සඳහා කොවිඩ් අණපනත් යොදා ගන්නා බවට සමහර මාධ්‍ය වාර්තා කරනවා. කොහොම නමුත් සමගි ජනබල වේගය මැයි දින සැමරුම රටේ තත්ත්වය යහපත් වූ විටෙක පැවැත්වීම ට කටයුතු කරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස