යහපාලනය ප්‍රපාතයට ඇද දැමූ රට ගොඩගන්න 2021 දැවැන්ත වැඩපිළිවෙළක් අරඹනවා! – බැසිල්…

December 16, 2020 at 10:16 am | by emanisa.lk

යහපාලන රජයේ අවුරුදු පහක පාලන කාලය තුළ දැවැන්ත ප්‍රපාතයකට වැටී තිබුණු අපේ රට ජාතික ආරක්ෂාවට මුල්තැන ලබාදෙමින් නැවත සෑම අංශයකින්ම නඟාසිටුවීමේ දැවැන්ත පෙරළිය වසර 2021 දී ආරම්භ කරන්නට උපරිමයෙන් කැපවී වැඩ කරන්නැයි ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බළකායේ සභාපති බැසිල් රෝහණ රාජපක්ෂ දකුණු පළාත් දේශපාලන හා රාජ්‍ය සේවා ප්‍රධානීන් ප්‍රමුඛ සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කළේ ය.

මාතර රුහුණු විශ්වවිද්‍යාලයේ රවින්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරයේ පෙරේදා (14) දහවල් පැවැති අවස්ථාවේ මූලාසනය කරමින් බැසිල් රාජපක්ෂ මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපතිවරයා මෙසේ ද කීය.

මුළු ලෝකය පුරාවටම කොවිඩ්-19 වසංගතයෙන් පීඩා විඳිමින් සිටින මොහොතක අපේ රටේ දිරිමත් පිරිසක් ලෙස ඔබ සියලුදෙනා මෙවැනි කතිකාවකට එක්වීම පිළිබඳව අපගේ ගෞරවයත්, ප්‍රණාමයත් පුද කරන්නට කැමතියි. මෙම අවස්ථාවට ඔබට අප කළ ආරාධනාව පිළිගෙන පැමිණීම පිළිබඳව ප්‍රණාමය පුදකරන අතර විශේෂයෙන් දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ, මේ ශ්‍රවණාගාරය ලබා දුන් විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා ප්‍රධාන පාලක මණ්ඩලයට ස්තුතිවන්ත වෙන්න ඕනෑ.

වසර 2015 දී ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජයේ වෙනස්වීමත් සමඟ යහපාලන ආණ්ඩුව බලයට පැමිණියා. එම පාලන වෙනස්වීමත් සමඟ රටේ සෑම අංශයක්ම විශාල ප්‍රපාතයකට රැගෙන යෑම සිදුවුණා. එවන් අවස්ථාවක එදා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත්, අගමැති මහින්ද රාජපක්ෂත් නැවත රට ගොඩනැගීමට කටයුතු කළ යුත්තේ කෙසේ දැයි ජනතාවගෙන්ම විමසා අදහස් යෝජනා ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළා. එය “ගම සමඟ පිළිසඳරක්” ලෙස අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂයක් ලෙස ක්‍රියාත්මක කළා. එවැන්නක් කළ එකම දේශපාලන පක්ෂය අපියි.

අපි දේශපාලන පක්ෂයක් ලෙස ක්‍රියාවට නැංවූ මේ වැඩපිළිවෙළ තුළින් රට යළි ගොඩනැඟීමට ජනතාවගේම අදහස් යෝජනා ලැබුණා. මේ යෝජනාත්, ඒ වාගේම වියත්මඟ වැනි සංවිධානවල විශේෂඥ දැනුම තිබෙන අයගේ ගම නංවන යෝජනාත් අපි කතිකා කළා. මේ සියලු යෝජනා ගැඹුරින් විශ්ලේෂණය කර අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට රට නංවන වැඩපිළිවෙළක්, ප්‍රතිපත්ති මාලාවක් ඉකුත් ජනාධිපතිවරණයට පෙර රට හමුවේ තැබුවා. එය රට හදන සෞභාග්‍යයේ දැක්ම ලෙස නම් කළා. අපි රට පුරා ජන හමු 36000 ක් පැවැත්වුවා.

ජනාධිපතිවරණයේදී ලද අතිවිශාල ජනවරමත් සමඟ අපි මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කළා. අතිගරු ජනාධිපතිතුමා හැකි සෑම අවස්ථාවකදීම ගම සමඟ පිළිසඳරට එක්වුණා. එතුමා ඉකුත් පාර්ලිමේන්තු මහ මැතිවරණ සමයේ බදුල්ල දිස්ත්‍රික්කයේ හද්දුම්මුල්ල, පුත්තලම දිස්ත්‍රික්කයේ මදුරන්කුලිය වගේම මාතලේ හිඹිලියාක ප්‍රදේශවලට ගොස් ජනතාවගේ ගැටලු ප්‍රශ්න කතා කළා. ඒ අවස්ථාවලදී මතු වූ ජනතා ගැටලු, ප්‍රශ්නවලට මේ වනවිට සාර්ථකව විසඳුම් දැනටමත් ලබාදී අවසන්.

“ගම සමඟ පිළිසඳර වැඩ සමඟ යළි ගමට” තේමාව යටතේ ක්‍රියාත්මක වෙන්න ඕනෑ. අපි වසර 2021 සඳහා ඉදිරිපත් කළ රජයේ පළමු අයවැයෙන් විශාල මුදල් වෙන්කිරීම් ප්‍රමාණයක් ජනතාවගේ ‍ෙපාදු සමාජ, ආර්ථික සංවර්ධන වැඩසටහන් සඳහා වෙන් කළා. අපේ රටේ අයවැය ඉතිහාසයේ පළමු වතාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ වෙනත් බාහිර පාර්ශ්වයක් විසින් සකස් නොකළ හෝ ඔවුන්ගේ උවමනාවන්ට අනුව සකස් නොකළ අයවැයක් වේ නම්, විශේෂයෙන් ජනතා අදහස් යෝජනා මුල්කොට හැදූ අයවැයක් වේනම් එය තමයි වසර 2021 අයවැය බව කිව යුතුයි.

අද අපි ආරම්භ කරන්නේ ගම සමඟ පිළිසඳරක් වැඩසටහන සමඟ ලබන වසරේ අයවැය යෝජනා මනාව ඒකාබද්ධ කොට ගමේ ජනතාවගේ ආර්ථික, සමාජයීය තත්ත්වයන් වැඩි දියුණු කරන වැඩපිළිවෙළ වේගවත්ව ක්‍රියාත්මක කිරීමේ කටයුතු පිළිබඳව ඔබ සියලුදෙනා දැනුම්වත් කිරීමයි. මේ වැඩපිළිවෙළ තුළ ඉදිරියේදී ගමේ සියලුදෙනාගේ සහභාගිත්වයෙන් දෙසැම්බර් 21-22 දෙදින මුළු රට පුරාම ප්‍රාදේශීය සංවර්ධන කමිටු නැති නම් ගමේ ජනතා යෝජනා ප්‍රමුඛ ගත කිරීමේ සාකච්ඡා සභා පවත්වා අවසන් විය යුතුයි. එය ග්‍රාම නිලධාරී වසම් 14021 හිම පැවැත්විය යුතුයි.

අද වනවිට අප රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ග 05 ම දුර්වල වී තිබෙනවා. අපගේ අපනයන ආදායම් මේ වසරේ මාර්තු මාසයේ සිට අඩුවුණා. ජුනි, ජුලි, අගෝස්තු අපනයන ආදායම් ටික ටික වැඩිවෙන්න පටන් ගත්තා. නමුත් මාර්තු මාසයේ අපේ ආදායම ඩොලර් මිලියන 200 ගාණකට අඩු වුණා.

මේවාගේ තත්ත්වයක් තුළ ඇතැම් ජාත්‍යන්තර ආයතන හා කිසියම් පිරිසක් අපේ රට ලබාගත් විදේශ ණය ආපසු ගෙවා ගැනීමට බැරි තරම් දුර්වල ආර්ථිකයක් ඇති රටක් බවට මතයක් ගොඩනැගීමට කටයුතු කළා. ඒවා එසේ තිබියදී පවා අපි මේ වසරේ ජාත්‍යන්තරයට ආපසු ගෙවිය යුතු විදේශ ණය හා වාරික පොලිය ඒ අයුරින්ම ගෙවා දැම්මා.

මෙම අවස්ථාවට කතානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, රමේෂ් පතිරණ, මහින්ද අමරවීර, රාජ්‍ය ඇමැතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරු ප්‍රමුඛ මහජන නියෝජිතයෝ, රජයේ උසස් නිලධාරීහු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස