මාලිමා ආණ්ඩුවෙන් පාස්පෝට් එකට ඉහළ වටිනාකමක් ලැබෙන රටක් හදනවා…! – අනුර

August 10, 2023 at 11:34 am | by emanisa.lk

මේ රට පොහොසත් කිරීම සඳහා අවශ්‍ය මෙවලම් ඕනෑ තරම් තිබෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසයි.

“දැන් අපිට කරන්න වැඩක් තියෙනවා. ඔබ සෑම දෙනාම පුළුවන් විදියට හැම ගෙදරකටම ගිහින් ජනතාවට කතා කරන්න ඕනෑ. ඒ ගොල්ලන්ගේ ධනයට, මාධ්‍යවලට, බලයට යට නොවෙන ජනතාවක් අපි හදන්න ඕනෑ. අපි ජාතික වශයෙන් අපේ වැඩේ කරනවා. පහළ බිම් මට්ටමේ වැඩෙ කරන්න ඕනෑ ඔබ. අපි විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය හදා තිබෙනවා. එම සංවිධානය දැන් සෑම ආසනයකම ප්‍රබලව ගොඩනැගෙමින් තිබෙනවා.

විශ්‍රාමික පොලිස් ඒකකයක් හදන්න බලාපොරොත්තු වෙනවා. සෑම උසාවියක් කේන්ද්‍රකරගෙන නීතිඥ සංගම්, සෑම විශ්වවිද්‍යාලයකම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගම්, සෑම අමාත්‍යාංශයකම අවශ්‍යවන සේවකයින්ගේ යාන්ත්‍රණයක් අපි හදනවා. කලාකරුවන්, ක්‍රීඩකයන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් මේ සෑම දෙනාම එකතු කරනවා, සංවිධානය කරනවා. මේ රට ගොඩනඟන්න පුළුවන්, පාලනය හසුරුවන්න පුළුවන්, වෘත්තියවේදීන්, විද්වතුන්, ව්‍යාපාරිකයන් අපි එකතු කරනවා. ඔබ ගම ඇතුලේ සාමාජිකයා එකතු කරන්න.

ලෝකයේ වසංගත ආවත්, යුද්ධ තිබුණත්, මූල්‍ය කඩාවැටීමක් ආවත්, ඔරොත්තු දෙන රටවල් කිහිපයක් තිබෙනවා. ඉන්දියාව මහා නිෂ්පාදනයෙන් පොහොසත් රටක්. අයි.ටී. ක්ෂේත්‍රයේ උඩින්ම ඉන්නේ ඉන්දියානුවෝ. ගූගල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ඉන්දියාවේ. ඉන්දියාව අභ්‍යවකාශ තරණයට සූදානම්, හතර වන වරටත් හඳට යාමට සූදානම්, න්‍යෂ්ටික බලය අත්හදා බැලීමට සූදානම්, පරමාණු බලශක්ති නිෂ්පාදන කරන, මෝටර් රථ නිෂ්පාදනය කරන, බීජ පර්යේෂණයෙන් කප් ගසා තිබෙන, කිරි නිෂ්පාදනයෙන් ඉදිරියට පැමිණි, ඖෂධ නිෂ්පදනය කරන රටක් ලෙස ඉන්දියාව ඉදිරියට පැමිණ තිබෙනවා. හේතුව ඉන්දියාව නිෂ්පාදනය සහිත රටක්. චීනය, මැලේසියාව, දකුණු කොරියාව, වියට්නාමය නිෂ්පාදන ආර්ථිකයන් සහිත රටවල්. අද ලෝකයේ වේගවත්ම ආර්ථික දියුණුවක් වියට්නාමය අත්පත් කරගෙන තිබෙනවා. ලෝකයට විශාල ලෙසම භාණ්ඩ අලෙවි කරන්නේ චීනය.

අපේ රටට නව නිෂ්පාදනය මත පදනම් වූ ආර්ථිකයක් අවශ්‍යයි. අපේ පාලකයන්ට එහෙම ගමනක් තිබුණේ නැහැ. රනිල් වික්‍රමසිංහ බලයට ඇවිත් වසරක් ගෙවුණත් කුමන හෝ නිෂ්පාදනයක් දිරි ගැන්වීමට යෝජනාවක් හැදුවේ නැහැ. අපේ රට කාලයක් බිත්තරවලින් සංතෘප්ත වෙලා තිබුණා. අපට අවශ්‍ය කුකුල් මස් ටික හැදුවා. කොවිඩ් වසංගතය, බඩ ඉරිඟු ගේන්න ඩොලර් නැතිවීම, පොහොර නැති නිසා බඩඉරිඟු නිෂ්පාදනය කඩා වැටීම නිසා කුකුලන් සඳහා අවශ්‍ය වන ආහාර නැතිවුණා. කුකුල් කර්මාන්තය කඩා වැටුණා. බිත්තර කර්මාන්තය නගා සිටුවන්න කිසිවක් කළේ නැහැ. බිත්තර ගොවිපොළවල් 11,000ක් වසා දමා තිබෙනවා.

රනිල් රජපක්ෂ ආණ්ඩුව කියනවා ඉන්දියාවෙන් බිත්තර, කුකුල් මස් ගේන එක ලාභයි කියලා. තිබුණු කර්මාන්තයවත් රැකගන්න බැරි වුණු පාලකයෝ. කර්මාන්ත සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය, අමුද්‍රව්‍ය, තාක්ෂණය ලබාදී කර්මාන්තය උඩට ගේන්න පාලකයෝ ක්‍රියාකරන්න ඕනෑ. අක්කර 65,000ක් වතුර නැතිව කුඹුරු ටික වේලිලා යනකොට පාලකයන්ට ගාණක් නැහැ. අපි හාල් ගෙනත් දෙන්නම්, කියනවා. නිෂ්පාදනයට අත තබන්නේ නැහැ. අද ත්‍රිපෝෂ කර්මාන්තය කඩා වැටිලා. ගැබිනි මව්වරුන්ට, දරුවන්ට අවශ්‍යවන පෝෂණයට ත්‍රිපෝෂ ටික දුන්නා.

අද ඒ කර්මාන්තය කඩා වැටිලා. වාලච්චේන, ඇඹිලිපිටියේ කඩදාසි කර්මාන්තය, හිඟුරාන, කන්තලේ සීනි ෆැක්ටරි, පරන්තන්වල රසායන කර්මාන්තය, සපුගස්කන්දේ පොහොර, නයිලෝන් සික්ස්, කෘමිනාශක, වල්නාශක, සිපෙට්කෝ, ඉටිපන්දම්, කර්මාන්ත සියල්ල වසා දැමුවා. පොල් කර්මාන්තය කඩා වට්ටලා විනාශ කළා. රනිල් රාජපක්ෂලාගේ ආර්ථික ක්‍රියාමාර්ගය, ණයක් ගන්නවා, රටින් බඩු ටිකක් ගේනවා. ඊළඟ වසර පහ දුවනවා; එච්චරයි. එහෙම රටක් ගෙනයන්න පාලකයෝ අවශ්‍ය නැහැ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යනු අපේ රටේ සම්පත් ලෝක වෙළඳපොළ, අපේ කළමනාකරණය, තාක්ෂණය, මේ සියල්ලම ඒකාබද්ධ කර ගත් නව නිෂ්පාදනයට පරිවර්තනය වන ශ්‍රී ලංකාවක් ගොඩනැගීමයි.

අපේ පොල් කර්මාන්තකරුවා කියනවා තිබෙන පොල්ගස්වලට සාත්තු කළහොත්, තිබෙන ප්‍රමාණයට වඩා 20%කින් නිෂ්පාදනය වැඩිකර ගත හැකියි කියලා. හරියට වැඩපිළිවෙලක් හැදුවොත් පොල් නිෂ්පාදනවලින් වසරකට ඩොලර් බිලියනයක ආර්ථිකයක් හැදිය හැකියි. ශ්‍රී ලංකාවේ නිල් මැණික් ඉතා වටිනාකමක් සහිතයි. මැණික් පිළිස්සීමේ හා කැපීමේ දියුණු තාක්ෂණය අපි ළඟ තිබෙනවා.

අපිට මැණික් කර්මාන්තය දියුණු කිරීමෙන් ඩොලර් බිලියන එක හමාරක ආර්ථිකයකට යාමට හැකියාව තිබෙනවා. ලංකා තේවලට ‘සිලෝන් ටී’ නමින් ජාත්‍යන්තරයේ හොඳ වටිනාකමක් හා ඉල්ලුමක් තිබෙනවා. ලංකාවේ පිහිටීම මත දැවැන්ත නාවික කේන්ද්‍රයක් ගොඩනැගිීමේ හැකියාව තිබෙනවා. ලෝකෙ තිබෙන වැදගත්ම ස්වභාවික වරායවලින් එකක් ත්‍රීකුණාමල වරාය. එතන තිබෙනවා අපේ ආර්ථිකයට හොඳ වටිනාකමක්. සංචාරක කර්මාන්තයට ඉතාමත් යෝග්‍ය රටක්.

අපට රට පොහොසත් කිරීම සඳහා අවශ්‍ය මෙවලම් ඕනෑ තරම් තිබෙනවා. අපි හොඳ සැලසුමක් හදල දියත් කරන්න ඕනෑ. අපි සැලසුම හදලා තිබෙනවා. විකුණන හා ණය අරගෙන ජීවත්වෙන ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවට මේ රට ස්වෝත්සාහයෙන් නැගිටින්න ඕනෑ. අපි අවුරුදු දෙක තුනක් පොරබදලා මේ වැඩේ කරමු. ජාත්‍යන්තර සහයෝගය ඇතිව නව නිෂ්පාදන ආර්ථිකයක් මේ රටේ ඇති කරමු. ණයට ජීවත්වීමේ ඇති ඵලය මොකක්ද. අපි ලෝකයේ හෑල්ලුවට පත්වූ රටක්. අපේ රටත්, ජනතාවත් දුප්පත්. ඒ නිසා අපිට විශාල වැඩ කොටසක් තිබෙනවා. අපි එක්වෙමු. මේ රට පොහොසත් රටක් බවට පත්කරමු.

කිසිම රටක් පිළිනොගන්නා අපේ රටේ පාස්පෝර්ට් එක ඉහළ පිළිගැනීමක් සහිත පාස්පෝර්ට් එකක් හිමි රටක් බවට පත්කරමු. ඒ වෙනුවෙන් ඥාතීන්, හිතවතුන් හමුවී දැනුවත් කරමු. තව දුරටත් රටේ ප්‍රබලතම කඳවුර මාලිමාව බවට පත්කරමු.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස