පොහොට්ටුවේ අපි රනිල් ජනාධිපති කිරීම හරි කියල ජනතාව කියනවා..!

June 14, 2023 at 4:07 pm | by emanisa.lk

මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ගත යුතු, ගත හැකි සියලු ක්‍රියාමාර්ග ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ගෙන ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව දැනට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල අනුව මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්වනු ඇතැයි ජනතාව තුළ දැඩි විශ්වාසයක් පවතින බවයි.

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ජනාධිපතිවරයා අතර ගැටුම් තිබෙන බව උළුප්පල පෙන්වන්න සමහරු උත්සාහ ගන්නවා. එහෙම දෙයක් නැහැ. අපි අතර දේශපාලන වෙනස්කම් තියෙන්න පුළුවන්. ජනාධිපතිතුමා ඒ තනතුරට පත්කරන්න අපි පක්ෂයක් විදියට සහය ලබාදුන්නා. ඒ සහය ලබාදුන්නේ ඔහුගේ පලපුරුද්ද, අභියෝගවලට මුහුණදීමේ හැකියාව ගැන හොයල බලල. එහෙම නැතුව ආවට ගියාට නෙවෙයි.

අපි තවමත් පෙනී සිටින්නේ 69 ලක්ෂයේ ජනතාව වෙනුවෙන්. පවතින තත්ත්වය මත ඇමතිකම් නොලැබීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨයන්ට කලකිරීම් තියෙන්න පුළුවන්. මීට වසරකට පෙර රට තිබූ තත්ත්වය හා අද තත්ත්වය ගැන සංසන්ධනය කරහම අපි එදා ගත්ත තීන්දුව නිවරදියි කියල දැනෙනවා. ඒ නිසා මේ වැඩපිළිවෙළ ඉදිරියට කරගෙන යන්න දෙනව මිසක එතුමගෙ කකුලෙන් අදින්න හොඳ නැහැ කියල මම පුද්ගලිකව හිතනව. ඉදිරි මැතිවරණයකදී වැඩ කරන්නෙ කොහොමද කියල පක්ෂයක් විදියට අපි එතකොට බලමු. අපි මේ මොහොතෙදි හිතන්න ඕන රට ගැනයි.

ජනාධිපතිතුමා ජනප්‍රිය තීන්දු ගන්නේ නැහැ. ජනප්‍රිය තීන්දු අරගෙන විතරක් රටක් පාලනය කරන්න බැහැ. ඔහු තීන්දු තීරණ ගන්නේ රටේ අනාගතය ගැන හිතලයි. එතුමා 2048 ආර්ථික සංවර්ධනය ගැන කතා කරන්නේ සදාකාලික බලයේ ඉන්න නෙවෙයි. ඒ වෙනකොට රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න අනුගමනය කළ යුතු මාර්ගය ඔහු දැනටමත් විවර කරල තියෙනවා. ඕක නොතේරෙන දේශපාලන අනාතයින් පිරිසක් අපිට මඩ ගහනවා. සංඛ්‍යා ලේඛන මත පදනම්වෙලා ආර්ථිකය හදන්න බැහැ. අයි.එම්.එෆ් එකට ගිහිල්ල හරි මේ ප්‍රශ්නය විසඳාගන්න ඕන. දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළ අනුව ඉදිරියේ දී රටේ ආර්ථිකය හොඳ තැනකට ගෙනේවි කියල ජනතාව තුළ දැඩි විශ්වාසයක් තියෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ රාජපක්ෂවරු නෙමෙයි කියල ජනතාව දන්නවා. මේ රාජපක්ෂ විරෝධය අවුළුවන්නේ ඉතිහාසය දන්නෙ නැති අලුත් පරම්පරාව. අපි මේ පක්ෂය හැදුවෙ බොහොම අමාරුවෙන්. රනිල් වික්‍රමසිංහ මහත්තයට උදව් කරන්න ගත්තු තීන්දුව ඉතා හොඳ තීන්දුවක් කියල ගමේ ඉන්න අපේ පාක්ෂිකයො කියනවා. පසුගිය වසරේදී යම් පසුබෑමකට ලක්වෙලා සිටියත් මේ වන විට පක්ෂය නැවත ප්‍රතිසංවිධානය වෙමින් ගම් මට්ටමින්, දිස්ත්‍රික්ක මට්ටමින් සංවිධාන කටයුතු ආරම්භ කරල තියෙනවා. ජනතාව තවමත් අපිත් එක්ක ඉන්න නිසා ජනතාව අතරට යන්න අපිට කිසිම බයක් නැහැ. ශ්‍රී ලංකා පොදුජන ඕනෑම මොහොතක, ඕනෑම මැතිවරණයකට ලෑස්තියි. ඒ නිසා සියයට තුනේ මල්ලිලා කියන ඒව ගණං ගන්නෙ නැහැ.

මාලිමාවටයි, ස.ජ.බ අයටයි ඕනේ මේ ආර්ථිකය නැවත කඩාබිඳ දමන්නයි. මේ ආර්ථිකය කාබාසීනියා කරන්න වැඩිම දායකත්වය දැක්වුවේ මාලිමාවයි. ඔවුන් රටේ ආර්ථිකය කාලා තමන්ගේ පක්ෂයේ ආර්ථිකය ස්ථාවරකර ගත්තා. ඔවුන් දැනුත් හදන්නේ සංචාරක ව්‍යාපාරය කඩා බිඳ දමල රටට එන ඩොලර් ටිකත් නැති කරන්නයි. ලංකාවට එවන ඩොලර් රාජපක්ෂලාගේ සාක්කුවට වැටෙනව කියල මාලිමාවේ ඉන්න ආර්ථික ඔස්තාර්ල කට උල් කරල, ඇස් ලොකුකරල පිටරටට ඉන්න අයට බොරු කියනවා. පිට රටින් එවන ඩොලර් වැටෙන්නේ ලංකාවේ බැංකුවලට මිසක එක එක්කෙනාගේ සාක්කුවලට නෙමෙයි. ජනතාව මේ බොරු තේරුම් අරගෙන ඉන්නේ. ආපහු වතාවක් ජනතාව රැවුල, කොණ්ඩෙ වවාගත්ත මේ ජෝකර්ලට අහුවෙන එකක් නැහැ. මේ ඇහෙන්නේ ස.ජ.බයේ හා මාලිමාවේ පරාජයේ දෝංකාරයයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විනාශයට වගකිව යුතු අපිත් එක්කම හිටපු උගත්, බුද්ධිමත් වියත්තු ටික දැන් සජිත් ප්‍රේමදාසගේ පස්සෙන් දුවනවා. ප්‍රායෝගික දේශපාලනය දන්නෙ නැති, සාමාන්‍ය මිනිහගේ ගඳ සුවඳ නොහඳුනන මහපොළවේ ජීවත්වෙන්න බැරි ඔය වියත්තු එක්ක එකතුවීමම තමයි සජිත්ගේ විනාශයට හේතුවේවි. ඒ නිසා ඔය වියත්තුන්ගෙන් පරිස්සම් වෙන්න කියල මම විපක්ෂ නායකතුමාට කියනවා.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් ක්‍රියාකාරීන් පිරිසක් සමඟ උඬුගම්පොළ, රෙජී රණතුංග සමරු සම්මන්ත්‍රණ ශාලාවේදී අද (14) පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ප්‍රදීප් අනුර කුමාර

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස