මහ මැතිවරණයෙන් ආණ්ඩුවට දිනන්න බෑ! හොඳටම බයවෙලා අපේ කට වහන්න හදන්නේ ඒකයි! – හකීම්

June 28, 2020 at 8:53 am | by emanisa.lk

ඉදිරි මැතිවරණයේදී බහුතර බලයක් ලබාගැනීමට නොහැකි බවට බියට පත්ව සිටින ආණ්ඩු පක්ෂය දැන් විපක්ෂයේ කට වැසීමට උත්සාහ කරන බව මුස්ලිම් කොංග‍්‍රස් නායක හා හිටපු අමාත්‍ය මෙන්ම සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත‍්‍රික් අපේක්ෂක රවූෆ් හකීම් පවසයි.

එහෙත් එයින් පමණක් ජනතාවගේ හිත් දිනාගැනීමට නොහැකි බව ආණ්ඩුව තේරුම්ගත යුතු බවට ඔහු වැඩි දුරටත් අවධාරණය කරයි.

එහිදී තවදුරටත් අදහස් දැක්වු ඔහු හකීම් මෙසේද පැවසීය.

“අප මුහුණදීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය වෙනදට වඩා වෙනස් මැතිවරණයක් විය හැකියි. මන්දයත් මෙම මැතිවරණයෙන් පසු මේ රටේ දේශපාලනය තරමක් වෙනස් අයුරින් කරගෙන යාමට පාලක පක්ෂය අදහස් කරගෙන ඉන්නවා. ජනාධිපතිවරණයේදී තමන්ට ඡන්දය නොදුන් අය මෙල්ල කරන්නටත් ඔවුන්ට පාඩමක් ඉගැන්වීමටත් අවශ්‍ය බවට වු අහංකාර චේතනාවක් ඔවුන් තුළ පවතින බවට මා දකිනවා. ඔවුන්ගේ වචනවල පවා පරිණතභාවයක් දකින්නට නැහැ. කටට එන පළියට කතා කරනවා.

වත්මන් පාලකයන් ජනතාව බියගන්වා ඡන්දය ලබාගැනීමේ ප‍්‍රයත්නයක් දියත්කර තිබෙන බව දක්නට ලැබෙනවා. එවන් අයුරින් ඡන්ද ලබාගැනීමට නොහැකියි. අගමැතිතුමා පමණක් වචනවලින් පරිණතභාවයක් පෙන්නුම් කළද, ඒවා වචනවලට පමණක් සීමාවී තිබෙනවා. ඊටත් වඩා ජනතාවගේ හිත් දිනාගැනීමට නම් ඒ සඳහා පාලක පක්ෂයේ ඇතැමුන්ගේ කට පාලනය කළ යුතුව තිබෙනවා. නැතිනම් ඔවුන්ට අවශ්‍ය බහුතර ඡන්ද ලබාගැනීමට නොහැකි බවට වු බියක් දැන් ඔවුන් තුළ ජනිතවී තිබෙනවා.

මැතිවරණයකදී විවිධ දේ නොමිලේ ලබාදීමෙන් ඡන්දය ලබාගැනීමෙ ක‍්‍රමවේදයක් පසුගිය කාලවකවානුවල පැවැතුණා. නැතිනම් විශාල ගස් කපා දමමින් පාර අවහිර කොට ඡන්දදායකයන් තම ඡන්දය ප‍්‍රකාශ කිරීමට යාම වැළැක්විමට පියවර ගැනුණා. ඒ මගින් ඡන්ද දායකයන් වළක්වා ඔවුන් තුළ යම් තැතිගැන්මක් ඇතිකිරීම ඔවුන්ගේ අරමුණයි. මෙම මැතිවරණයේදී ද එවන් තත්ත්වයක් ඇති නොවිය යුතුයි. ඉතා අහංකාර තත්ත්වයෙන් සියල්ල සිදුවන වාතාවරණයක අප ඉතා පරිස්සමින් ඡන්දය භාවිත කොට අපගේ නියෝජනය රැකගැනීමට අවශ්‍යයි.

පසුගිය ජනාධිපතිවරණයේදි අප අනුගමනය කළ ස්ථාවරය ඉතා නිවැරදියි. එය ජනාධිපතිතුමා ඉදිරියේදීත් මා නොපැකිළව ප‍්‍රකාශ කළා. එම මැතිවරණයේදී අප සජිත් ප්‍රේමදාස මහතාට අපගේ සහයෝගය ලබාදුන්නා. අපද සිංහල බෞද්ධයෙකුට ඡන්දය ලබාදුන්නත් ඔහුට ජයග‍්‍රහණය කිරීමට නොහැකිවීම ගැන අප ස්වයං විවේචනයක යෙදෙනවා. ඒ වගේම ජනාධිපතිතුමා ද තමන්ට ඡන්දය නොදුන් අය එසේ කළේ ඇයි කියන කාරණාව සම්බන්ධයෙන් ස්වයං විවේචනයක යෙදීමෙන් වරද කොතැනදැයි පැහැදිලිව හඳුනාගත හැකිවෙනවා.

රනිල් වික‍්‍රමසිංහ මහතාට සිංහල බෞද්ධ ජනතාවගේ සහයෝගයක් නැහැ. එය අප විසින් ඔහුට පෙන්වා දුන්නා. සිංහල ජනතාව තුළ ඔබට ප‍්‍රසාදයක් නොමැති නිසා තරමක් ඉවත්වී සිටින්නැයි අප ඉල්ලීමක් කළා. එහෙත් ඔහු එයට එකඟ නෑ. එ.ජා.ප.යේ හවුල්කාර පක්ෂ සියල්ල ඒ සම්බන්ධයෙන් ඔහු සමග සාකච්ඡා කළා. එහෙත් රනිල් වික‍්‍රමසිංහ මහතා ඒ කිසිවක් සම්බන්ධයෙන් අවධානය යොමුකළේ නැහැ. පසුගිය ජනාධිපතිවරණ තුනකදී ඔහුට තරග කරන්න නොහැකිවුණා. මැතිවරණ දෙකකට වෙනත් පක්ෂවලින් අපේක්ෂකයන් ආනයනය කළා. එයිනුත් දෙවැනි වරට ගෙනා අපේක්ෂකයා කළ දේවල් අප සියල්ලන් හොඳින් දන්නවා.

ඒ අයුරින් බලයට ආ ජනාධිපතිවරයා, ප‍්‍ජානත්ත‍්‍රවාදයට පයින් ගසා අගමැති තනතුරට පත්කිරීම් කළා. ඒ දවස් 52ක් තුළ ඔවුන් නැටු නාඩගම්, පාර්ලිමේන්තු ඉතිහාසයේ සිදුනොවු සියල්ල ඒ දින කිහිපය තුළ සිදුවුණා. පාර්ලිමේන්තුව රැස්කරන්නට බැරිවුණා. කතානායකතුමාගේ පුටුවේ සමහරු වාඩිවුණා. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැතිව ඔවුන් මෙසේ හැසිරුණේ නම් බහුතර බලයක් ලැබුණොත් මොනවා නොකරයිද? එවන් පාර්ලිමේන්තු බහුතරයක් ඔවුන්ට ලැබීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට දැඩි අනතුරක්. අහංකාර හා මමත්වය රජයන දේශපාලන ගමනක් දීර්ඝ කාලයකට පවතින්නේ නැහැ. සමහර විට මෙම මැතිවරණයෙන් එයට තිත තැබිය හැකිවෙයි. ඒ වෙනුවෙන් ජනතාව තම ඡන්දය නිවැරදිව භාවිත කළ යුතුයි.

වර්තමානයේදී අප කණ්ඩායමට තරුණ හා ජවසම්පන්න නායකයෙකු වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා තෝරාපත්කරගෙන තිබෙනවා. ඔහුගේ නායකත්වයෙන් මේ රටේ දේශපාලනයේදී විකල්ප බලවේගයක් ලෙසින් ජාතික සමගි බලවේගයේ දුරකතන ලාංජනය යටතේ අප තරග කරනවා. එබැවින් ජනතාව අප බලවේගය සවිබල ගන්වන අයුරින් තම ඡන්දය භාවිත කරනු ඇති බවට දැඩි විශ්වාසයක් පවතිනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස