අවුරුදු ගාණකට කලින් මගුල් ගෙදරක ගිය අර්ජුන් ඇලෝසියස් තවම නෑ! පර්පෙචුවෙල් ලොක්කාගේ මගුලේ යෑමේ සූදානමට නීතිපති එරෙහි වෙයි!

June 21, 2019 at 8:58 am | by emanisa.lk

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමූහ ව්‍යාපාරයේ සභාපති ජෙෆ්රි ජෝශප් ඇලෝසියස් මහතාට ලබන 1 වැනිදා සිට 11 වැනිදා දක්වා සිංගප්පූරුවට යාමට තම අධිකරණය විසින් පසුගිය 13 වැනිදා ලබාදුන් අවසරය කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (20) පස්වරුවේ අවලංගු කිරීමට නියෝග කළාය.

පසුගිය 2015-02-27 වැනිදා මහ බැංකු බැඳුම්කර නිකුතු වෙන්දේසියේදී සිදුවූ රුපියල් කෝටි ගණනාවක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ජෙෆ්රි ජෝශප් ඇලෝසියස් මහතා ඇතුළු දසදෙනකුට එරෙහිව ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ලබන මස මුල් දෙසතිය තුළදී නඩු පැවරීමට පියවර ගන්නා බවත් එවැනි අවස්ථාවකදී බරපතළ චෝදනා එල්ල වී ඇති එවැනි සැකකරුවකුට විදේශ ගතවීමට අවසර ලබාදුනහොත් අධිකරණය මගහැර සිටීමේ ප‍්‍රවණතාවයක් පවතින බවත් පෙන්වා දෙමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය එහිදී කරුණු දැක්වූවාය.

නීතිපතිවරයා මේ දක්වා ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරා නොමැති බැවින් සැකකරුගේ දියණියගේ විවාහ මංගල්‍යයේ පවුලේ චාරිත‍්‍ර සිදුකරන සති අන්ත දිනවලදී හෝ සැකකරුට විදේශ ගතවීමට අවසර ලබාදෙන ලෙස සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජීවන්ත ජයතිලක මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එවැනි බරපතළ චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මහාධිකරණයේ නඩු පවරන අවස්ථාවකදී අධිචෝදනා භාරදීම සඳහා සැකකරු රට තුළ සිටීම අත්‍යවශ්‍ය කරුණක් බව පෙන්වාදුන් ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය විත්තියේ නීතිඥවරයාගේ ඉල්ලීම ද ප‍්‍රතික්ෂේප කර සැකකරුගේ විදේශ ගමන් බලපත‍්‍රය මුදාහරින ලෙසට පසුගිය 13 වැනිදා තම අධිකරණය විසින් නිකුත් කළ නියෝගයද අවලංගු කළාය. අධිචෝදනා ගොනු කළ පසු විදේශ ගතවීමට අවශ්‍ය නම් මහාධිකරණයට කරුණු දක්වා අවසර ලබාගන්නා ලෙසට ද මහෙස්ත‍්‍රාත්වරිය එහිදී සැකකරුට අවවාද කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස