අලුත් සන්ධානය බැඳුම්කර හොරු අරගෙන අශුද්ධ කරන්න එපා! – වැලිඅංගේ සජිත්ගෙන් ඉල්ලයි…

February 12, 2020 at 3:14 pm | by emanisa.lk

පක්ෂයෙන් ඈත් වුණ තරුණ පරපුර යළි පක්ෂයට එකතු කිරීමේ වැඩසටහනක් අවශ්‍ය බව හෝමාගම එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක එරන්ද වැලිඅංගේ පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් මහරගමදී ඊයේ පැවති “අලුත් පැතුමක් -අලුත් ගමනක් ” සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ වන විට 69 ලක්ෂයක ජනතාවගෙන් බහුතරයද තමන් රැවටුණු බව අවබෝධ කරගෙන ඇතැයි පැවසූ ඔහු සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටිනුයේ පසුගිය කාලයේදී විවිධ හේතු නිසා පක්ෂයෙන් ඉවත් වූ තරුණ පරපුර යළිත් පක්ෂයට එකතු කරගැනීමට වැඩපිළිවෙළක් සකසා දෙන ලෙසටය.

තමන් ඇතුලු තරුණ දේශපාලකයින් ඒ වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කිරීමට සූදානම් බවත් ඔහු එහිදී කියා සිටියේය.

බලයට පත්ව වසර පහක් වැනි කෙටි කාලයක් ඇතුළත එජාපයට පරාජයට පත් වීමට සිදුවූයේ පුද්ගලයින් කිහිප දෙනෙකු නිසා බවද සිහිපත් කල ඔහු එහිදී ඉල්ලා සිටියේ ගොඩ නැඟෙන නව සන්ධානය අශුද්ධ සන්ධානයක් බවට පත්වීමට කිසිම ඉඩක් නොතබන ලෙසටය.

බැඳුම්කර වංචාවට සම්බන්ධ හෝ වෙනයම් දූෂිත ක්‍රියා මාර්ගයන්ට කිසිසේත්ම සම්බන්ධ පුද්ගලයින් හවුල් කරනොගෙන රටට සහ ජනතාවට ආදරය කරන පිරිස් පමණක් නව බලවේගය වටා ඒකරාශී කරගන්නා ලෙසටද ඔහු පවසයි.

මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පක රණවක, මනෝ ගනේෂන් යන මහත්වරුද එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස