පොලිස්පති නීතිපති ගැටුම දිගටම! CID, FCID, SIU නඩු නවත්වන්න බලයක් නැතැයි නීතිපති කියයි!

February 13, 2020 at 10:06 am | by emanisa.lk

රහස් පොලීසිය, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකරනු ලැබූ විමර්ශන කටයුතු අගතිදායක අන්දමින් සිදුකොට ඇත්ද යන්න පිළිබඳ තහවුරු කරගන්නා තෙක් එම නඩු කටයුතු තාවකාලිකව බහා තබන්නැයි වැඩබලන පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයාගෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් පියවර ගැනීමට තමන්ට බලයක් නැතැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ (12) දැනුම් දුන්නේය.

අධිකරණය ඉදිරියේ පවතින නඩුවක් අත්හිටුවිය හැක්කේ ඉහළ අධිකරණයක නියෝගයකින් බවත්, එය විධායක බලතලවලින් බැහැර කාර්යයක් වන බවත් වැඩ බලන පොලිස්පතිවරයාට දැනුම් දෙන නීතිපතිවරයා අධිකරණයක් ඉදිරියේ ඇති සිද්ධියක් සම්බන්ධයෙන් තහනම් නියෝගයක් නිකුත් කිරීමට හෝ නීතිපතිවරයාට නියෝග දීමට කොමිෂන් සභාවකට බලයක් නැති බවද වැඩිදුරටත් අවධාරණය කොට ඇත.

වැඩබලන පොලිස්පතිවරයා විසින් පෙබරවාරි මස 03 දාතමින් යුතුව නීතිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් රහස් පොලීසිය, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකරනු ලැබූ විමර්ශන කටයුතු අගතිදායක අන්දමින් සිදුකොට ඇත්ද යන්න පිළිබඳ තහවුරු කරගන්නා තෙක් එම නඩු කටයුතු තාවකාලිකව බහා තබන්නැයි ඉල්ලමින් වැඩබලන පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයාට යොමුකළ ලිපියට පිළිතුරු සපයමින් නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට යොමු කළ ලිපියේ මෙසේද සඳහන් කොට ඇත.

උක්ත කරුණ සම්බන්ධයෙන් ඔබගේ 2020.02.03 දිනැති ලිපිය හා බැඳේ.

ඉහත ලිපියේ කරුණු කෙරෙහි මාගේ අවධානය යොමු වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් මුල සිටම නිරීක්ෂණය වන්නේ එහි සඳහන් සාක්ෂි මගින් තහවුරු වී නොමැති අතර, එකී කරුණු විමර්ශනයකටද භාජනය වී නැති බවයි.

තවද අධිකරණය ඉදිරියේ පවතින ක්‍රියාවලියක්, අත්හිටුවිය හැකි වනුයේ අධිකරණය නියෝගයකින් වන අතර, එවැනි කටයුත්තක් විධායක බලතලවලින් බැහැර කාර්යයක් වනු ඇති බවද දන්වමි.

පරීක්ෂණ කොමිෂන් සභා පනත (393 අධිකාරය වූ) යටතේ විමර්ශනයකින් හෝ පරීක්ෂණයකින් අනතුරුව උද්ගත වී ඇති සිද්ධියක් සම්බන්ධයෙන් නිර්දේශ එකී සිද්ධිය හෝ කාරණය පවතින අධිකරණ ක්‍රියාවලියක් මගින් සලකා බලා එකී සිද්ධිය හෝ කාරණය මගින් එකී අධිකරණමය ක්‍රියාදාමයට අගතිගාමී බලපෑමක් සිදුවේද යන්න සලකා බැලීම සහ ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් දීම, අදාළ සිද්ධිය හෝ කාරණය පවතින අදාළ අධිකරණමය ආයතනය සතු වගකීමක් බව වැඩිදුරටත් දන්වමි.

එසේ හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) සමග කියවිය යුතු 105 ව්‍යවස්ථාව ප්‍රකාරව නීතියෙන් පිහිටුවන ලද යුක්තිය පසිඳලන ආයතනයකින් එවැනි නියෝගයක් නොමැති අවස්ථාවක, ඒ සම්බන්ධයෙන් වගකීමෙන් යුක්තව කටයුතු කර පැමිණිල්ලක් සම්බන්ධයෙන් අවශ්‍ය සියලු පියවර ගැනීමට මා සහ මා යටතේ කටයුතු කරන නිලධාරීන්ගේ කාර්යභාරයක් වන අතර, එම කාර්යයෙන් බැහැරව කටයුක්තක් කිරීමට මා හට හෝ මාගේ නිලධාරීන්ගෙන් බැහැර කාර්යයක් වනු ඇත.

තවද නීතියෙන් පිහිටුවන ලද යුක්තිය පසිඳලන අධිකරණයක් හා ආයතනයක් ඉදිරියේ පවතින සිද්ධියක් සම්බන්ධයෙන් තහනම් නියෝගයක් නිකුත් කිරීම හෝ එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ල වෙනුවෙන් අවශ්‍ය කටයුතු කරගෙන යාම සම්බන්ධයෙන් නීතිපති වෙත නියෝගයක් නිකුත් කිරීමට 2008 අංක 16 දරණ කොමිෂන් සභා පනතින් සංශෝධිත කොමිෂන් පරීක්ෂණය සභා පනත (393 අධිකාරය වූ) යටතේ කොමිෂන් සභාවට බලයක් නොපවතින බවද මින් සඳහන් කරමි.

තවද ඔබගේ ලිපියේ 03 වැනි ඡේදයේ සඳහන් කරුණු මාගේ F/33/2019 සමාංක සහ 2020.01.20 වැනි දින ලිපියේ සඳහන් කරුණු නිවැරදිව පිළිබිඹු කිරීමක් නොවන බවද මින් දන්වමි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස