පොම්පියෝ ආවේ නෑදෑ ගමනක් නෙවෙයි! ගෝඨා පොම්පියෝ එකඟතා වහා හෙළි කරනු! – ජවිපෙ

October 29, 2020 at 8:50 am | by emanisa.lk

ට්‍රිලියන 14ක ණයකරුවකුව සිටින ලංකාව බලගතු රාජ්‍යයන් විසින් පාපන්දුවක් බවට පත්කරගෙන ඇතැයි ජවිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක ඊයේ (28) පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.

“ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරය පිළිබඳව ඉන්දියානු මාධ්‍ය මඟින් කරුණු හෙළිදරව් වෙමින් තිබෙනවා. ඒ අනුව මේ ගිවිසුම්වලින් ඔබ්බට යන වුවමනාවක් එක්සත් ජනපදයට තිබෙනවා. එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය, ඕස්ට්‍රේලියාව එකතුවී එළැඹෙන මැද භාගයේදී ඉන්දීය සාගර කලාපයේ නාවික යුද අභ්‍යාසයක් පැවැත්වීමට සූදානම් කර තිබෙනවා. ඉන්දියානු සාගර කලාපයේ යුද ආධිපත්‍යය පිළිබඳ සැලැස්මක් චීනය ඉලක්ක කරගෙන තිබෙනවා.

මයික් පොම්පියෝගේ පැමිණීමේ ගමන ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින සහ ඉන්දුනීසියාව ඉලක්ක කර තිබෙන්නේත් මේ වන විටත් ඉන්දියාව සමඟ අලුත්ම යුදමය ගිවිසුමට අස්සන් කර තිබෙන්නේත් ඉන්දියානු සාගර කලාපයේ යුද ආධිපත්‍යය මූලික කරගෙනයි.

ඉන්දියන් සාගරයේ යුද ආධිපත්‍යය සඳහා මේ වන විටත් ඇමෙරිකාව, ජපානය, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල යුදමය සංවිධානයක් පිහිටුවා ගෙන තිබෙනවා. පොම්පියෝ පැමිණීමට පෙර ඩීල් තොම්සන් සහ ඩේවිඩ් ස්ටීල්වෙල් ප්‍රකාශ කර තිබූ පරිදි එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට ලබාදී තිබූ යෝජනාවලිය අනුව ඉදිරියේ දී අප ගමන් කරන්නේ කවුරුන් සමඟ ද යන්න තීරණය කළ යුතු බවට කර තිබෙන බලපෑම ගැන රටට එළිදරව් කළ යුතුයි. මෙය මැදමුලන පොල් වත්ත පිළිබඳව ප්‍රශ්නයක් නෙවෙයි.

නාමල් රාජපක්‍ෂ කියලා තිබුණ ආගන්තුක සත්කාර දක්වමින් තේ එකක් බීලා පිළිගන්නවා වගේ දෙයක් නෙවෙයි. ජී.එල්. පීරිස් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබූ පරිදි රාජ්‍යතාන්ත්‍රිකයන් එනවා, යනවා වගේ අලුත් දේවල් නොවන බවට කර තිබූ ප්‍රකාශය වගේම බැසිල් රාජපක්‍ෂගේ සමීපතමයන් කියා තිබුණේ එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් වගේ ප්‍රබල නායකයෙක් ලංකාවට පැමිණීම ජයග්‍රහණයක් බවයි. ඔහු මේ නැදෑ ගමනක් පැමිණීමක් නොවේ.

ඉතා පැහැදිලිව ඉන්දියානු සාගරයේ යුද ආධිපත්‍යය තහවුරු කරගන්න ඉන්දියාව, ලංකාව, මාලදිවයින සහ ඉන්දුනීසියාව තෝරා ගෙන තිබෙනවා. ජාත්‍යන්තර යුද සැලසුමේ පංගුකරුවකු බවට ශ්‍රී ලංකාව පත් නොකළ යුතුයි.

ජනතා විමුක්ති පෙරමුණේ අපි හැමදාමත් පෙනී හිටියේ මේ රටේ ස්වාධීනත්වය වෙනුවෙන්. හැබැයි අපි ලෝකයේ රටවල් සමඟ එකට යා යුත්තේ අපේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය ආරක්‍ෂා කර ගනිමින්.
හැබැයි 70 වසරක් පුරා මේ පාලකයන් සිදුකර තිබෙන්නේ ආර්ථිකමය වශයෙන් මේ රට දුබල කර ට්‍රිලියන 14ක විශාල ණය උගුලක රට හිරකර එම ණය ප්‍රමාණයෙන් 48‍%ක් විදේශීය වශයෙන් ලබාගෙන බරපතළ තත්ත්වයකට පත්කිරීමයි.

මේ නිසා ලබන වර්ෂයේදී ඩොලර් කෝටි 600ක මුදලක් ණය වශයෙන් ගෙවිය යුතුව තිබෙනවා. අපේ අපනයන ආදායම ආනයන වියදමෙන් අඩක්වත් සපුරාගන්න අසමත්වී තිබෙනවා. එවැනි ආර්ථිකයක් හමුවේ බලගතු රාජ්‍යයන් විසින් රටේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය පාපන්දුවක් බවට පත්කරගෙන තිබෙනවා.

ඒ නිසා මවුබිමට සැබෑ ලෙසම ප්‍රේම කරන ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ, අවුරුදු 70ක් රට පාලනය කළ මේ දෙපිරිස විසින් ක්‍රමානුකූලව මේ රට ලෝක බලවතුන් හමුවේ හිර කිරීමට එරෙහිව පෙරට එන්න කියලයි. දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි ඊට නායකත්වයදී තිබෙනවා. ආණ්ඩුව වහාම ගෝඨාභය රාජපක්‍ෂ සහ මයික් පොම්පියෝ අතර සිදුකළ සාකච්ඡාවල දී එළඹුණු එකඟතා පිළිබඳ රටට හෙළිදරව් කළ යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස