පරගොඩ විහාරයේ කඳුලු නතර කිරීමේ පාඩුව මිලියන 50යි!

January 25, 2020 at 2:18 pm | by emanisa.lk

අභූත චෝදනා නඟමින් ගාල්ල ඉමදූව පරගොඩ රජමහ විහාරයේ පැවැත්වීමට සූදානම් කර තිබූ කඳුලු වැඩසටහන ද ඇතුළත් පුණ්‍ය කටයුතු කඩාකප්පල් කිරීමට කටයුතු කිරීම නිසා රු. මිලියන 50ක පාඩුවක් සිදුව තිබේ.

එම විහාරයේ කෘත්‍යාධිකාරී පූජ්‍ය පරගොඩ සමිත හිමියන් වෙනුවෙන් නීතිඥ රුවිනි ප්‍රියංකා ජයතුංග විසින් කෙහෙල්වල සුමංගල සහ හප්පාවන රේවත හිමියන් වෙත යොමු කරන ලද ලිපියකින් මේ බව අනාවරණය වෙයි.

එම වැඩසටහනේ දී දුෂ්කර පිරිවෙන්වල අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලා අරබයා මලලසේකර ශබ්දකෝෂ, මහ පිරුවානා පොත් වහන්සේලා, සිංහල පාළි ධම්මපද ග්‍රන්ථ සහ කායි කොට්න් සිවුරු 100 බැගින් ලබා දීමට සැලසුම් කර තිබූ බව ද එහි දැක්වෙයි.

එසේම ඇඳන් 10ක්, මෙට්ට 10ක්, සනීපාරක්ෂක උපකරණ කට්ටල 100ක් මෙන්ම සාමනේරයන් වහන්සේට මසකට රු. 1000 බැගින් ශිෂ්‍යත්ව 100ක් ද ලබා දීමට සැලසුම් කර තිබූ බව ද සඳහන් වෙයි.

කෙසේ වුවද මෙම වැඩසටහන කතෝලික අන්තවාදය ව්‍යාප්ත කරන බවට අභූත චෝදනා නඟමින් කඩාකප්පල් කිරීමට පෙර කී භික්ෂූන් වහන්සේලා කටයුතු කරමින් සිටින බවත් එම වැඩසටහන කඩාකප්පල් වුවහොත් අදාළ රු. මිලියන 50ක මුදල උන් වහන්සේලාගෙන් අයකර ගැනීමට නීති මගින් කටයුතු කරන බවත් එහි වැඩි දුරටක් සඳහන්ය.

කෙසේ වුවද මෙම වැඩසටහන පැවැත්වීමට එරෙහිව මහජන සාමය කඩවීමේ අවධානම සලකා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් ලබා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස