ධම්මික පැණිය ගැන කෑ ගැසූ අය දෙවියන් වික්ටර්ට කටහඬ දෙද්දි නිහඬයි..!

January 29, 2021 at 11:05 pm | by emanisa.lk

වික්ටර් රත්නායක ඒකදේවවාදය හා පඬියෝ

වික්ටර් රත්නායකගෙ ගීතයක තියෙනවා මට මතක හැටියට කුරුල්ලන්ට ගී ගයන්න ඔබෙ කටහඬ දීමක් ගැන. ඒ කොහොම නමුත් වික්ටර් රත්නායකට කටහඬ නැවත ලැබිල. ඒ කියන විධියට කිසියම් විධියකට ටික කලකට පෙර කටහඬ නැති වෙලා. නැවත කටහඬ ලැබිල තියෙන්නෙ බටහිර වෙදකමකින්වත් ආයුර්වේද වෙදකමකින්වත් නො වෙයි.

දැන ගැනීමට ඇති විධියට බෝන් අගේන් ප්‍රතිඵලයක් හැටියට. ඒ කියන්නෙ බෝන් අගේන් කියන විධියට දෙවියන් වහන්සේගේ මැදිහත් වීමෙන්. ඒ දෙවියන් වහනසේ බටහිර ආසියාවේ යෙහෝවා දෙවියන් වහන්සේ කියන එක තමයි කියැවෙන්නෙ. ඒ ගැන වතිකානුව කියන්නෙ මොකක් ද කියන එකත් දැන ගැනීමට නැහැ.

මා මෙහෙම කියන එක හරි නැති වෙන්නත් පුළුවන්. යෙහෝවා සහ අල්ලා යන දෙවියන් වහන්සේලා එකම දෙවියන් වහන්සේ කියල තමයි හිතන්නෙ. එතැන දි මූලික තර්කය පදනම් වන්නේ ඉන්නේ එක ම දෙවියන් වහන්සේ කෙනෙක් පමණක් නම් මොන නම්වලින් හැඳින්වුවත් සිටිය හැක්කේ එක ම එක දෙවියන් වහන්සේ කෙනකු පමණයි යන්න මත.

ඒ කොයි හැටි වුවත් ඒ ඒ ආගම්වල එක ම දෙවියන් වහන්සේ ගැන වුණත් දැනුම මිනිසුන්ට ලැබී ඇත්තේ විවිධ දෙවිවරුන්ගෙන් වෙන්න බැරි නැහැ. එහෙත් එය අර මුල් පදනම සමග සංගත වන්නේ නැහැ. ඉන්නේ එක ම එක දෙවියන් වහන්සේ කෙනකු නම් ඒ දෙවියන් වහන්සේ ගැන දැනුම මිනිසුන්ට ලැබෙන්නත් ඕන ඒ එක ම එක දෙවියන්ගෙන් පමණයි.

එවිට ප්‍රශ්නයක් මතු වෙන්න පුළුවන් එක ම එක දෙවියන් වහන්සේ කෙනකු මත පදනම් වෙලා විවිධ ආගම් තියෙන්නෙ කොහොමද කියල. ඒ ඒ ආගම් අතර වෙනස්කම් තියෙන බව පැහැදිලියි. මා ඒ ගැන වැඩි දුර කතා කරන්නේ නැහැ. ඒකදේවවාදය මිනිසුන්ට ලැබිල අවුරුදු හාරදාහක්වත් නැහැ කියලයි මා හිතන්නෙ. ඊට කලින් තිබුණෙ බහුදේවවාද. විවිධ දෙවියන් ගැන කතා පැරණි සංස්කෘතීන්වල තියෙනවා. ඒ බහුදේවවාද.

බෞද්ධ පඬි පෝතකයන් වුණත් පිළිගන්නවා සම්‍යක්දෘෂ්ඨික දෙවියන් ඉන්නවා කියල. සමහර විට කකුසඳ බුදුහාමුදුරුවන්ගෙ කාලෙටත් ඉස්සර ඉඳන් ඉන්න එවැනි දෙවියන් ඇති. ඒ කොහොම වුණත් වෛදිකයන් ග්‍රීකයන් අතරත් බහුදේව කතා තිබිල තියෙනවා. මිනිසුන් කොහොමත් විවිධ දෙවියන් සමග සන්නිවේදනය කරල තියෙන බව පැහැදිලියි. අපේ මළයකුන් ගැන කතා තියෙනවා.

බහුදේවවාදයෙන් ඒකදේවවාදයට මාරු වීම යුදෙව්වන් අතර සිද්ධ වෙච්ච දෙයක්. යුදෙව්වන් තරම් වියුක්ත ව හිතන්න පුළුවන් ජනවර්ගයක් නැහැ. මෙරට පඬි නැට්ටන්ට වියුක්ත ව හිතන එක කොහොම වෙතත් වියුක්ත කියන එක තේරුම් ගන්නවත් බැහැ.

එක දෙවියකු ගැන පමණක් හිතන එක ලෙහෙසි නැහැ. එවිට අනෙක් දෙවියන් සියල්ල අමතක කරන්න වෙනවා. අද ධම්මික වෙද මහතාගේ පැණියටත් ඒ ප්‍රශ්නය බලපානවා. ඒකදේවවාදය පිළිබඳ ප්‍රශ්නය. එක දෙවියකුගෙන් සිට එක දැනුම් පද්ධතියක් (බටහිර විද්‍යාව) කරා වූ විකාශය සංකීර්ණයි. ඒ සඳහා අවුරුදු පන්දාහක් පමණ යන්න ඇත කියා හිතෙනවා. අද මේ බටහිර දැනුම් පද්ධතිය කඩා වැටෙමින් තියෙන්නෙ. බටහිර විද්‍යාව අවසාන වශයෙන් ගත්කල ඒකදේවවාදය මත පදනම් වූවක්.

බටහිර විද්‍යාවේ කඩා වැටීම වෙන කාටත් වඩා හොඳින් තේරෙන්නෙ එක්සත් රාජ්‍යවල අයට. ඒ බටහිර විද්‍යාව කඩා වැටෙන එකේ සංකේතයක් තමයි ට්‍රම්ප්. ඔහු නියෝජනය කෙළෙ බෝන් අගේන් වැනි අය. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. බටහිර විද්‍යාවෙන් කැඩිල ඔවුන් නැවත යන්නෙත් අර ඒකදේවවාදයටමයි. බෝන් අගේන් පිරිසත් අදහන්නෙ අර දෙවියන් වහන්සේ ම තමයි. බටහිරයන්ට ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙන් ගැලවෙන එක ලෙහෙසි නැහැ.

දැන ගන්නට ලැබී ඇති ආකාරයට වික්ටර් රත්නායකට කටහඬ ලබා දීල තියෙන්නෙ බෝන් අගේන් පිරිසේ දෙවියන් වහන්සේ. ඒ දෙවියන් වහන්සේ බයිබලයේ ඉන්න දෙවියන් වහන්සේ කියල තමයි ඒ පිරිස කියන්නෙ. අර්ථකථනවල තමයි වෙනස්කම් තියෙන්නෙ. මෙරට පඬි නැට්ටන් වික්ටර් රත්නායක සංසිද්ධිය ගැන කතා නැහැ. බටහිර වෙද මහතුන් ද නිහඬයි. කාලෝ ෆොන්සේකා ඉන්න කාලෙත් ඔහු උනන්දු වුණෙ ගිණි පෑගීම මිථ්‍යාවක් කියන්න මිසක් දේවගැතිවරුන්ගෙ සුව කිරීම් ගැන සොයා බලන්න නො වෙයි. ඔහු බෞද්ධ මුහුණුවරක් පෙන්නමින් බෞද්ධ සංස්කෘතියට පහර ගැසූ අයෙක්.

වික්ටර් රත්නායකගේ කටහඬ ලැබීම මා ප්‍රශ්න කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ කෙසේ වෙතත් යම් මනුෂ්‍ය නොවන ප්‍රාණියකු ඔහුට කටහඬ ලබා දෙන්න ඇති. මගේ ප්‍රශ්නය පඬියන්ට. ඔවුන්ගෙ බටහිර විද්‍යාවට භක්තියක් තියෙන්නෙ. ඔවුන් කියයි එහෙම නැහැ ඔවුන් සියල්ල තේරුම් ගෙන කියා. ඔවුන් කළුකුහර පිළිගන්නවා ද? කළුකුහර ඔවුන්ට තේරෙනවා ද? මා නම් කළුකුහර පිළිගන්නේ නැහැ.

පඬියන් වික්ටර් රත්නායකගෙ කටහඬ ගැන අර ජනමාධ්‍යකරුවන් කියන විධියට කටහඬ අවදි කරන්නෙ නැත්තෙ ඇයි? අනෙක් අතට වික්ටර් රත්නායකට කටහඬ දීල තියෙන්නෙ සම්‍යක්දෘෂ්ඨික දෙවි කෙනෙක් ද? ඊනියා බෞද්ධ බටහිර වෙදමහතුන් වික්ටර් රත්නායක සම්බන්ධයෙන් නිර්වින්දනය වී ඇත්තේ මොකද? එය විශාල ජනකායකට බල නොපාන නිසා ද? නැත්නම් කාලෝ විධික්‍රමය අනුගමනය කරමින් ද?

ආචාර්ය නලින් ද සිල්වා

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස