දෙමළ ජනතාවගේ ජාතික නායකයා ප්‍රභාකරන්! අගමැති රනිල් ප්‍රභාකරන් එක්ක සාම ගිවිසුමක් අත්සන් කළෙත් ඒකයි! – ශිවාජිලිංගම්

July 6, 2020 at 2:26 pm | by emanisa.lk

දෙමළ ජනතාවගේ ජාතික නායකයා එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් බව තමන් නැවත නැවතත් ප්‍රකාශ කරන බවත් මියගිය කොටි සාමාජිකයින් ඇතුළු සියළු පිරිස් වෙනුවෙන් අඛණ්ඩව පහන් දල්වන බවත්   දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු හා උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් පවසයි.

තමන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ අද (6) අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.  එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශිවාජිලිංගමි මෙසේද කීය.

1987.07.05 වනදා තමයි   එල්.ටී.ටී.ඊ සංවිධානයේ මරාගෙන මැරෙන බලඝනය  (කළු කොටි) ආරම්භ වුණේ. එදින නිල්ලර් නැමති එල්.ටී.ටී.ඊ සාමාජිකයා තමයි යාපනය නෙල්ලිඅඩි හමුදා කදවුරට ප්‍රථම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළේ. මේ නිසා තමයි ජුලි 05 වනදා කළුකොටි දිනය වශයෙන් සමරන්නේ.

මම කළුකොටි දිනය සමරන්න යනව කියල පොලිසියට තොරතුරක් ගිහින් තිබුණා. ඒ නිසා වැල්වැටිතුරෙයි පොලිසිය පේදුරුතුඩුව අධිකරණය මගින් නිකුත් කළ වරෙන්තුවකට අනුව මාව අත්අඩංගුවට ගත්තේ. ඒ වරෙන්තුව නිකුත් කරල තියෙන්නේ  2018.11.26 දින තිරුවිල් ක්‍රීඩාංගණයේ දී කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරීම සම්බන්ධයෙන් විභාග වන නඩුවකට නොයාම නිසයි. ඒක සති කිහිපයකට කලින්  නිකුත් කරපු වරෙන්තුවක්. ඒ වරෙන්තුව පොලිසිය ඊයේ ප්‍රයෝජනයට ගත්‍තා.

මම එක දෙයක් කියන්න කැමතියි. එල්.ටී.ටී.ඊය සටන් කළේ දෙමළ ජනතාවගේ නිදහස උදෙසා වූ නිදහස් දෙමළ ඊළමක් වෙනුවෙන්. ප්‍රභාකරන් දෙමළ ජනතාවගේ නායකයා නිසා තමයි ශ්‍රී ලංකා රජයේ අගමැතිවරයා පවා සාම ගිවිසුමකට අත්සන් කළෙත්. දෙමළ ජනතාවගේ ජාතික නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් පමණයි. දෙමළ ජනතාවගේ ඒ හැගීම වෙනස් කරන්න කිසිවෙකුටත් බැහැ.

අපි අද කියන්නෙත් දෙමළ ජනතාවගේ නිදහස තවමත් හිමිවෙලා නැහැ කියන එකයි. ඒ ජනතාවගේ නිදහස වෙනුවෙන් අප ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක තවමත් නිරතව සිටිනවා.දෙමළ ජනතාවගේ නිදහස තහවුරු කිරීමට ඔවුනව ගෞරවනිය ජාතියක් ලෙස ජීවත් කරවීමට  නම් එම ජනතාවට තනිව තීන්දු ගත හැකි ස්වයං පාලන ව්‍යූහයකින් යුත් දේශපාලන විසදුමක් හිමිවිය යුතුයි.

අපි එදා වගේම අදත් අද වගේම හෙටත් හෙට වගේම අනිද්දත් ප්‍රභාකරන් ප්‍රමුඛ එල්.ටී.ටී.ඊ සංවිධානයේ දිවිදුන් සාමාජිකයින් මෙන්ම මියගිය සිවිල් වැසියන්  සිහිකර පහන් දල්වනවා.මියගිය කෙනෙක්ගේ ආත්ම ශාන්තිය වෙනුවෙන් පහනක් දල්වනව කියන්නේ වැරද්දක් නෙවෙයි. අපිව නවත්වන්න කාටවත් බැහැ.” යැයිද සිවාජිලිංගම් සඳහන් කළේය.

එෆ්. අස්ලාම්

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස