තමා පත් කළ බලවේගවලට කන් නොදුන් ජනාධිපතිවරයාට මහ පාරේ උද්ඝෝෂකයින්ට කන්දීමට සිදුවීම අවාසනාවක්…! – ගෙවිඳු

April 8, 2022 at 5:32 pm | by emanisa.lk

(ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී, යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග 2022.04.07 වැනි දින රටේ පවතින තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයට එකතු වෙමින් සිදුකළ දේශනය.)

මේ විවාදය පවත්වන්නේ තීරණාත්මක මොහොතක. මව්බිමේ අනාගතය ඝන කළු වළාවළින් වැසී රට වැසි ජනතාව අනාථව අසරණව සිටින මොහොතක. 69 ලක්ෂයක් ජනතාව හදවතේ ආදරයෙන් පත් කරගත් ගෝඨාභය ජනාධිපතිතුමාට ගෙදර යන්න කියන මොහොතක. ඔබ මා ඇතුළු 225 දෙනා ම එපා යැයි කියන මොහොතක. පක්ෂ භේදයකින් තොරව සියලු දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කෙරෙන මොහොතක. මේ පාර්ලිමේන්තුව ම ප්‍රතික්ෂේප කරන මොහොතක.

ගෑස් භාවිතයේ ඇති පහසු බව පිරිසිදු බව කියා දෙමින් දර ළිපේ, භූමිතෙල් ළිපේ ඉවුම් පිහුම් කළ ජනතාව සියලු දෙනාට ම ගෑස් භාවිතය පුරුදු පුහුණු කරවනු ලැබ මුළුතැන්ගේ ඒ අනුව හැඩගස්වා ගෙන ඇති ජනතාවකට ගෑස් සැපයීමට අසමත් වන විට, විදුලිය ආශ්වාස ප්‍රශ්වාස කරන වාතය තරමට අත්‍යවශ්‍ය කරගත් ජනතාවකට 100%ක් විදුලි සැපයුම සපයා ඇති බවට උදම් අනන සමාජයක දිනයෙන් අඩකට වඩා විදුලි සැපයුම ලබාදිය නොහැකි තැනට පත්ව ඇති මොහොතක, පොදු ප්‍රවාහනය දියුණු කරනු වෙනුවට සෑම රාජ්‍ය සේවකයෙකුගේ ම සෑම පුරවැසියෙකුගේ ම පැතුම වාහනයක් බවට පත් කළ සමාජයක ඩීසල් පෙට්‍රල් නැති වූ විට ජනතාව පාරට ඒම අරුමයක් ද?

මුහුණ දීමට සිදුවන විපත දැක එය පාලනය කිරීමට තැත් කළ බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මැතිතුමාට උසුළු විසුළු කරමින් බොරු බියක් ව්‍යාජ සමාජ අසහනයක් ඇති කරන්නට උත්සාහ කරන්නෙකු ලෙස නාමකරණය කරමින් රජය ම තමන් රැවටූ බව අවබෝධ කරගත් ජනතාව පාරට පැමිණීම අරුමයක් ද?

එහෙත් අද පාරට බැස සිටින ජනතාවගේ සටන් පාඨ ඊට වඩා ගැඹුරකින් කියවිය යුතු බව යුතුකම සංවිධානයේ අදහසයි. ගෙදර යන්න ගෝඨා කියන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගැන පමණක්ම ද? 225 ම එපා කියන්නේ පාර්ලිමේන්තුවේ අද සිටින 225ට පමණක් ද? නැත්නම් මුළු පක්ෂ ක්‍රමයට ම ද? නො එසේ නම් මුළු පාර්ලිමේන්තු ක්‍රමයට ම ද? පක්ෂ දේශපාලන ක්‍රමය තම ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට අසමත් බව අවිඥානිකව අවබෝධ කරගත් ජනතාව 2015 දීත් 2019දීත් උත්තර සොයා ගොස් රැවටීම හැර පිළිසරණක් නොලැබුණු නිසා මෙලෙස කෝපයට පත්ව ප්‍රතික්‍රියා දැක්වීම පිළිබඳ අප පුදුමයට පත්විය යුතු ද?

2015 දී සැබවින් ම සිදු වූයේ කුමක් ද? මේ රටේ ප්‍රභූ නායක්තවය ශාන්ත තෝමස්, රාජකීය, සෙන්ට් බ්‍රිජට් පමණක් නොව ආනන්ද නාලන්ද ආදී සියලු පාසල් අතික්‍රමණය කොට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවක මහතෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රටේ රාජ්‍ය නායකත්වයට ගෙන ඒම තුළ ජනතාව ප්‍රකාශයට පත්කළේ කුමක් ද? ඒ මොහොත පිළිබඳ පසුව කවර තර්ක විතර්ක ඉදිරිපත් කළ ද ඒ මොහොතේ මෛත්‍රීපාල සිරිසේන මහතා නිර්පාක්ෂික අපේක්ෂකයෙක් නොවේ ද? ඒ මොහොතේ ම ඒ මහතා සර්ව පාක්ෂික නායකයෙක් ද වූවා නොවේ ද? තම පක්ෂයෙන් නෙරපනු ලැබූ මෙම නිර්ප්‍රභූ පුද්ගලයා වටා අවසානයේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික හෙළ උරුමය, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය මෙන් ම එළියේ සිට ජනතා විමුක්ති පෙරමුණ පෙළ ගැසීම නැතහොත් පෙළගැස්වීම එදා අප දුටු ආකාරයට හුදු විජාතික කුමන්ත්‍රණයක් පමණක් ද? ඒ පිටුපස විජාතික හස්තයක් වූ බවට සැකයක් නැත. එහෙත් ජනතා පැතුම් ජනතා අභිලාෂ මල්ඵල ගන්වන්නට අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් සිදුකළ කාර්යභර්ය අප නිසි පරිදි අවබෝධ කර ගෙන තිබේ ද?

2015 වසරේ අප යුතුකම සංවිධානය පිහිටුවා “වෙනස සැපද?” සම්මන්ත්‍රණ මාලාව සංවිධානය කරන්නේ ජනතාව අපේක්ෂා කළ වෙනස, සාධාරණ සමාජය, නීතිගරුක සමාජය පිළිබඳ පැතුමන් ඉටු නොවන බව පෙනෙන්නට වූ විටය. දින 100කින් පසුව මහ බැංකු හොරකමින් පසුව යහපාලන අපේක්ෂා ඉටුකරගත හැකි ද? යන තේමාව යටතේ සංවාද මාලාවක් පැවැත්වූවා මතකය. 2015 නොවැම්බරයේ ඩී.ඒ. රාජපක්ෂ දේශනය පවත්වමින් මේ රටේ දේශපාලන පක්ෂ සියල්ල යහපාලන රජය යටතට ගෙන ඇති මොහොතක එදා නිදහස වෙනුවෙන් ජාතික සංවිධාන සියල්ල එක්සත් ජාතික පක්ෂය යටතේ ගොනු වූවත් ඒ ජාතික අභිලාෂ ඉටු කළ නොහැකි වූ විට 1952 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික අභිලාෂ වෙනුවෙන් පිහිටුවා ගත්තේ යම් සේ ද එලෙස ම නව දේශපාලන පක්ෂයක අවශ්‍යතාව මතුව ඇති බව පෙන්වා දෙන ලදි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි වීමට එහි ක්‍රියාකාරකම් මුල් වූ බව ද බලපෑ බව ද එහි ක්‍රියාකාරකම් සමග සම්බන්ධව සිටි කවුරුත් දන්නා කරුණකි.

එහෙත් නැවත වතාවක් මේ රටේ ජනතාව තම නායකයා, මේ මව්බිමේ නායකයා සොයා ගියේ මේ පක්ෂ සියල්ල පිටතිණි. මෙදා ඔවුන්ගේ තේරීම වූයේ වෘත්තිකයෙකි. ත්‍රස්තවාදයට එරෙහිව නායකත්වය දුන් ආරක්ෂක ලේකම්, කොළඹ නගරය ලස්සන කළ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් සමගින් වියත්මග ඔවුන්ගේ තේරීම විය. අප යුතුකම ජාතික සංවිධානය ද එහි කොටස්කරුවෝ වූයෙමු. අප මේ ජනතා අභිලාෂ නිසි පරිදි කියවා ඇත්තේ ද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයෙන් පසු වඩාත් නිවැරදිව කියනවා නම් 2/3ක පාර්ලිමේන්තු බලයක් ලබා ගත් පසු සිදුවූයේ කුමක් ද?

අප යුතුකම සංවිධානය පාර්ලිමේන්තු මැතිවරණයට පෙර නව ව්‍යවස්ථාවක් සඳහා වන අපගේ යෝජනා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූයෙමු. ජන සහභාගීත්වයේ දොරටු විවර කෙරෙන පාලන තන්ත්‍රයක් අපි යෝජනා කළෙමු. සෑම ගමක ම නගරයක ම සියලු ම පුරවැසියන් සාමාජිකයින් වන ගම් සභාව එම පාලනයේ පදනම විය යුතු යැයි අපි යෝජනා කළෙමු. පක්ෂ බෙදීම් ඉක්මවා යන ජාතික දේශපාලනයකට පාර කපන යෝජනාවලියක් අපි යෝජනා කළෙමු. එහෙත් අපේ අවාසනාවට, රටේ අවාසනාවට කුමක් සිදු වී ද? කෝ ඒ නව ව්‍යවස්ථාව? පක්ෂ විපක්ෂ සියල්ලන්ම 69 ලක්ෂයක් ඡන්දය දුන්නේ 2/3ක පාර්ලිමේන්තු බලයක් නිර්මාණය කළේ ඒ වෙනුවෙනි. ඒ වෙනුවට රටට ලැබුණේ 20 වෙනි සංශෝධනයයි.

දැන් මේ පාර්ලිමේන්තුවේ ද ඉන් පිටතට ද සමහරු ඔබත් මේ 20 වන සංශෝධනයට ඡන්දය දුන්නා නේදැයි ප්‍රශ්න කරති. ඔව්, අපි ඡන්දය දුන්නෙමු. ඒ, එහි අහිතකර වගන්ති නිවැරදි කර ගැනීම සඳහා දැරූ උපරිම ප්‍රයත්නයකට පසුය. වසරක කාලයක් ඇතුළත නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට ලබා දුන් ප්‍රසිද්ධ ප්‍රතිඥාවකට පසුව ය. අප එම අරගලය තුළ ඇමැති මණ්ඩලය 30 ඉක්මවා යාමට, රාජ්‍ය ඇමැතිවරු නියෝජ්‍ය ඇමැතිවරු අවශ්‍ය පරිදි පත්කිරීමට තිබූ ඒ ව්‍යවස්ථා සංශෝධන ඉවත් කර ගතිමු. ඒ සමග ම Air Lanka සමාගම වැනි රජයට 50%කට වැඩි කොටස් හිමි සමාගම් පවා විගණකාධිපතිවරයාගේ සුපරික්ෂාවෙන් ඉවත් කිරීමට දරා තිබූ ප්‍රයත්නයන් පරාජය කළෙමු.

එහෙත් අපට සමහර ඉල්ලීම් දිනා ගැනීමට නොහැකි විය. ව්‍යවස්ථාදායක සභාව වෙනුවට පාර්ලිමේන්තු කවුන්සිලයක් පිහිටුවීමට කළ යෝජනාව, එසේ ම ද්විත්ව පුරවැසියන්ට නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට තිබූ බාධක ඉවත් කිරීම ඉන් ප්‍රධාන ය. මේ පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අපටත් මේ ගරු සභාව ඔස්සේ රටටත් පැහැදිලි ප්‍රතිඥාවක් ලබා දී ඇත. ඒ වසරක් ඇතුළත ගෙන එන නව ව්‍යවස්ථාව තුළ මෙම ද්විත්ව පුරවැසියන් සම්බන්ධ ප්‍රතිපාදන ඉවත් කරන බවට ය.

එමගින් ගම්‍ය කෙරුණේ එම ප්‍රතිපාදන භාවිතයට නොගන්නා බව ය. යමෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයකට පත්වීම ජනාධිපතිතුමාට වැළැක්විය නොහැකි නමුත් අමාත්‍යවරයෙකු ලෙස පත්කිරීමෙන් වැළකීමට එතුමාට උක්ත ප්‍රතිඥාව අනුව පරම යුතුකමක් තිබිණි. එතුමා ඒ ප්‍රතිඥාව නොරැකීම අද අර්බුදයේ ආරම්භය ලෙස අපි දකිමු. එතුමා කෙරෙහි පැවැති විශ්වාසය බිඳ වැටීමට එය හේතු වූ බව අපි දකිමු. එතුමා එදා බලයට ගෙන ආ ඉල්ලීම්වලට කන් නොදී අද පාරේ සිදුකරන උද්ඝෝෂණවලට කන්දීමට සිදු වීම එතුමාගේ පමණක් නොව අපගේ ද රටේ ද අභාග්‍යයකි.

දැන් ව්‍යස්ථාදයක සභාව වෙනුවට පාර්ලිමේන්තු කවුන්සියලක් පිහිටුවීම, ව්‍යවස්ථාදායක සභාවේ 10 දෙනා ම තමන්ගේ යහපාලන සන්ධාන පක්ෂවලින් පත්කර ගැනීම තුළින් ම යහපාලන රජය විසින් ම යහපාලන සංකල්ප දූෂණය කළේය. එසේ කිරීම මගින් අධිකරණයේ ඉහළ තනතුරුවලට තම සිතැඟි පරිදි පුද්ගලයන් පත් කිරීමට නිර්ලැජ්ජී ලෙස අවස්ථාව යහපාලන රජය ලබා ගත්තේ ය. 20 වන සංශෝධනය මගින් එම බලතල නැවත ජනාධිපතිතුමා වෙත පවරා ගන්නා ලදි. දැන් අගවිනිසුරුතුමා ඇතුළු ඉහළ උසාවිවල විනිසුරුතුමන්ලා නීතිපතිතුමා, පොලිස්පතිතුමා ඇතුළු ඉහළ රාජ්‍ය නිලධාරීන් පත්කිරීම ජනාධිපතිතුමා විසින් සිදු කරනවා. කතානායකතුමා, අගමැතිතුමා, විපක්ෂ නායකතුමා සාමාජිකයින් වන පාර්ලිමේන්තු කවුන්සිලයට ඒ පත් කිරීම් පිළිබඳ දැනුම් දීම් කරනු ලබනවා.

අපේ රටේ ජීවත්ව සිටින මහා ප්‍රාඥයකු වන ආචාර්ය ගුණදාස අමරසේකර මහතා 2019 වසරේ පළකළ නවකතාවේ නාමය සංක්‍රාන්ති සමයයි. එය නිර්මාණ කෘතියක් වුව ද එහි මූලික අදහස වන්නේ 2019 වසරින් එළඹෙන්නේ නැකැත් නැති සුබ කටයුතු සඳහා සුදුසු නොවන විවිධාකාර වූ විකෘති අදහස් පහළ වන කාලයක් බව ය. එවැනි සමයක ඒ කාලය පියමං කර ගැනීම සඳහා අපට අවශ්‍ය වන්නේ චර්යාව බව ප්‍රතිපත්තිගරුකත්වය බව යුතුකම සංවිධානායේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ මහතා ඉතා පැහැදිලිව පෙන්වා දී තිබේ. එම ආදර්ශය මේ පාර්ලිමේන්තුව වශයෙනුත් මේ රට පාලනය කරන අය වශයෙනුත් දීමට අසමත් වන්නේ නම් අපේ රට අර්බුදයෙන් අර්බුදයට පත්වීම වැළැක්වීමට නොහැකි වනු ඇත. මෙම අර්බුදයට පිළිතුරු සෙවිය යුතුව ඇත්තේ ප්‍රතිපත්ති ගරුකභාවය තුළ රටට ආදර්ශයක් දෙමින් නිසා ඒ සඳහා පෙරමුණ ගන්නා ලෙස මම මේ ගරු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටිමි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස