ජනපති ඓතිහාසික කතරගම පුදබිමට! කිරිවෙහෙර නැමද දේවාශිර්වාද ලබයි! රටට ජනතාවට සෙත් පතා පරිත්‍රාණ දේශනයක්!

April 26, 2020 at 5:10 pm | by emanisa.lk

ජනතාවට සහ රටට සෙත් පතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහභාගීත්වයෙන් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් ඓතිහාසික කතරගම පුදබිමේ දී ඊයේ (25) රාත්‍රී පැවැත්විය.

කතරගම පුදබිමට පැමිණි ජනාධිපතිවරයා කිරි වෙහෙර රාජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

කොරෝනා වෛරසය මර්දනයට ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙළට සිය ප්‍රසාදය පළ කළ උන්වහන්සේ කොවිඩ්- 19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියනයක් පරිත්‍යාග කළහ.

ජනාධිපතිවරයාගේ පැමිණීම සනිටුහන් කරමින් උන්වහන්සේ විසින් සිහිවටනයක් ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණ.

කිරිවෙහෙර සෑ රදුන් අබියස විශේෂ ආගමික වතාවත්හි නිරතව ආශිර්වාද ලබාගත් ජනාධිපතිවරයා කතරගම දේවාල භූමියේ අෂ්ඨඵල බෝධීන්වහන්සේ ද වැඳ පුදා ගත්තේය.

කතරගම ශ්‍රී අභිනවාරාමයට ගිය රාජපක්ෂ මහතා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය කපුගම සරණතිස්ස හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

ජනාධිපතිවරයා කතරගම මහා දේවාලය ඇතුළු සෙසු දේවාල වෙත ද ගොස් ආගමික වතාවත්හි නිරත විය.

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේපැවති සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට ද ජනාධිපතිවරයා එක්විය.

අයෝමා රාජපක්ෂ මහත්මිය, රුහුණු මහා කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේ ශෂින්ද්‍ර රාජපක්ෂ, වත්මන් වැඩබලන බස්නායකනිලමේ දිල්ෂාන් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවන්ට එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස