වත්මන් සමාජ ගැටලුවලට හේතුව බෞද්ධ සංස්කෘතියෙන් ඈත්වීමයි! – ගෝඨාභය රාජපක්ෂ

May 18, 2019 at 9:19 am | by admin

තරඟකාරී සමාජ රටාව සමග අප බෞද්ධ සංස්කෘතියෙන් සිරිත් විරිත්වලින් ඈත්වීම වර්තමාන කලබලකාරී වාතාවරණයට හේතුව බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පනිවිඩයක් නිකුත් කරමින් පෙන්වා දෙයි. එම සම්පූර්ණ පනිවුඩය මෙසේය.

වෙසක් උත්සවය නිමිත්තෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිකුත් කළ සුබපැතුම් පණිවුඩය…

ලොව්තුරා බුදුවරයකුගේ පහළ වීම අතිශය දුර්ලභ කරුණක්. එවන් බුද්ධෝත්පත්තියක් මුළුමහත් විශ්වයටම ශාන්තිය උදාකරවන්නක්. මීට වසර 2600 කට ලෝකයේ පහළ වූ අද්විතීය ඥාණසම්භාරයකින් යුත් බෝධිසම්භාරයන් පරිපූර්ණ බෝධිසත්ත්වයන් වහන්සේගේ උතුම් උපතත්, බුද්ධත්වයට පත්වීමටත්, පරිනිර්වාණයත් සිහි කරන වෙසක් පුන් පොහොය සමස්ත බෞද්ධ ලෝකයාටම සුවිශේෂී දිනයක්.

බුදුන් වහන්සේගේ තෙමඟුල සැමරීම ආමිස සහ ප‍්‍රතිපත්ති පූජාවන්ට අනුකූලව උත්සවාකාරයෙන් සිදු කිරීම බෞද්ධයන්ගේ සිරිතක්. අප කුඩා කාලයේ වෙසක් උත්සවය සමරන්නට දුප්පත්, පොහොසත් බාල මහලු බේදයකින් තොරව සති ගණනාවක් තිස්සේ සූදානම් වුණා. අපිට මතකයි වෙසක් කූඩු නිර්මාණය කළ ආකාරය. තොරණ මුළු රට පුරාම හදපු ආකාරය.

ඒ වගේම වෙසක් පොහෝ දින උදේ සුදුවතුන් සැරසී දෙමාපියන් සමග තෙල් මල් අරගෙන පන්සලට ගිහින් බුදුන් වැඳලා සිල් සමාදන් වූ ආකාරය. ඒ වගේම ඇඳිරි වැටෙන තුරු බලාගෙන හිටියේ ඒ අපි නිර්මාණය කළ වෙසක් සැරසිලි එල්ලා පහන් දැල්වීමටයි. අනිකුත් ගෙවල්වල තිබූ වෙසක් සැරසිලි දෙස බලා සතුටු වුණා. වැඩිහිටියන් සමග තොරණ බලන්නට ගිය ආකාරය සිහියට එනවා.

නමුත් අද සමාජයේ පවතින තරගකාරීභාවය නිසා වැඩිමහල් අයගේ සිට කුඩා දරුවා දක්වා පීඩාවට පත් වෙලා. එම නිසා ඒ බෞද්ධ සංස්කෘතියෙන්, සිරිත් විරිත්වලින් අපි ක‍්‍රම ක‍්‍රමයෙන් ඈත් වෙලා තිබෙනවා. අද රටේ තිබෙන කලබලකාරී වාතාවරණයට හේතුවත් ඒ යැයි විශ්වාස කරනවා. එබැවින් බෞද්ධ දර්ශනය තුළ පවතින මූලික ඉගැන්වීම් වන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා යන උත්තරී ගුණයන් වෙත යොමුව කටයුතු කිරීම වඩාත් අර්ථවත් බව සිහිකළ යුතු වෙනවා. මුළු ලෝකයටම සාමය උදාකරවන, සැනසිලිදායක වෙසක් මංගල්‍යයක් වේවායි සැදැහැසිතින් ප‍්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *