ජනතාව බලන් හිටියේ නැදුන්, කළුවර කැබිනට් එකක්… ආණ්ඩුවේ මැටි පිත්තල පුවක් කැබිනට්ටුව දැක්කාම කුණුහරුප මතක් වෙනවා! – හිටපු ඩිජිටල් ඇමති හරීන්

August 15, 2020 at 12:33 pm | by emanisa.lk

ජනතාව බලාපොරොත්තු වූ තේක්ක, නැදුන්, කළුවර, බුරුත වැනි නව කැබිනට් මණ්ඩලයක් වෙනුවට වයස 70,80 පැනපු, කුණුහරුප මතක් වෙන කැබිනට් මණ්ඩලයක් පත්වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප‍්‍රනාන්දු පවසයි.

සමගි ජන බලවේගය ප‍්‍රධාන කාර්යාලයේදී ඊයේ පෙරවරුවේ (14) පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

ඊයේ දවසේදී මේ ආණ්ඩුව ආරම්භයක් ගත්තා මහනුවරදී ඇමැති මණ්ඩලය දිවුරුම් දීලා, ආශිර්වාද අරගෙන රටට අලූත් පණිවුඩයක් දුන්නා. මේ පණිවුඩය තුළ තමයි ගැටලූ තිබෙන්නේ. මේ රටේ ජනතාව ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලබා දීලා තිබෙනවා විශාල පරිවර්තනයක් කරන්න. මේ වන විට ලෝකයේ විශාල ආර්ථික අවපාතයක් තිබෙනවා.

නමුත් බලන්න වයස අතින් ගත්තොත් 65 පැන්නාට පසුව අපි පරිස්සම් වෙන්න ඕනා. ඒත් බලන්න අපේ අලූත් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ සිටින්නේ 70ත් පැනපු අය. දේශපාලන පවුලක් විසින් මේ දීපු මහා විශාල බලයට කින්ඩියක් දාලා තිබෙනවා ද කියන ප‍්‍රශ්නය තිබෙනවා.

හැබැයි මම එකක් කියනවා අලි සබ්රිට ආණ්ඩුවේ ඇමැති ධුරයක් ලබා දීම ගැන අපේ ගැටලූවක් නෑ. අපි ජාතිවාදී, ආගම්වාදී, කුල වාදී නෑ. අපි උස් පහත් භේදය සලකන්නේ නෑ. නමුත් අපේ ආණ්ඩුව කාලයේ තනිකරම ගෝඨාභය රාජපක්ෂට සහ මහින්ද රාජපක්ෂ ඇතුළු 14 දෙනකුට එරෙහිව පවතින නඩු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා. දැන් ඒ නීතිඥයාට තමයි අධිකරණය භාර දීලා තිබෙන්නේ. මේක කොපමණ භයානකද? තමන්ගේ නඩු කතා කරපු කෙනාට තමයි රටේ නීතිය ලබා දීලා තිබෙන්නේ.

අද මුදල් පාලනය කරන්නේ මහින්ද රාජපක්ෂ, ආරක්ෂාව පාලනය කරවන්නේ ගෝඨාභය රාජපක්ෂ, තරුණයන් සහ ක්‍රීඩාව පාලනය කරන්නේ නාමල් රාජපක්ෂ, වාරි කර්මාන්ත චමල් රාජපක්ෂ මේවාටද මේ තුනෙන් දෙක අවශ්‍ය වුණේ.

මේ අය ආවා විතරයි කියනවා 19 වෙනි සංශෝධනය නැති කරනවාලු. ව්‍යවස්ථාවකින් කියන්නේ කරන්න පුළුවන් දේ විතරයි. බැරි දේවල් කියලා නෑ. හැබැයි ව්‍යවස්ථාව ගැන හිතන්නේ නැතිිව ජනාධිපති තමන්ගේ නමට අමාත්‍යංශයක් වෙන් කර ගන්නවා. ඒත් මම සතුටු වෙනවා ජනාධිපතිතුමා අගමැතිතුමාට වැඳීම ගැන ඒක හරි ලස්සන දර්ශනයක්, නමුත් ඉදිරි වසර පහේදිම මහින්ද රාජපක්ෂ මහත්තයාට වැඳගෙන තමයි ජනාධිපතිතුමාට ඉන්න වෙන්නේ. අපිට පේන විදිහ එහෙමයි.

ජනතාව බලාපොරොත්තු වුණු තේක්ක, නැදුන්, කළුවර, බුරුත මේ නව කැඩිනට් මණ්ඩලයට ආවේ නෑ. කුණුහරුප මතක් වෙක කැබිනට් මණ්ඩලයක් තමයි පත්වෙලා තිබෙන්නේ. මේ පාලකයෝ ජනතාව ගැන හිතලා නෑ. අපි මීට පෙර මැටි ඇමැති, පිත්තල ඇමැති, විසිතුරු මාළු ඇමැති කියලා අහලා තිබෙනවාද? මෙහෙම ඇමැතිකම් ලෝකෙත් නෑ, හරි අපහාසයක් මේ කරලා තියෙන්නේ.

දැන් බලන්න ඒ ඒ අමාත්‍යංශවලට බෙදා ගෙන තිබෙන විදිහ. ඒවා සාධාරණද? ඒ වගේම බලන්න වයසක ඇමැතිවරු තමයි ඉන්නේ හැත්තෑවයි, අසූවයි, මේක කලින් මේ අය කිව්වාද අලුතින් හිතන්න පුළුවන්ද මේ වයසක අයට, අලුතින් හිතන්න පුළුවන් අයට දීලා තිබෙන්නේ වේවැල්, මිරිස්, වැනි අමාත්‍යංශ.

ඒත් අපි කියන්න ඕනෑ අපි විපක්ෂයක් විදිහට ධනාත්මක විරෝධතා තමයි කරන්නේ, තරුණ ඇමැතිවරයෙක් විදිහට නාමල් රාජපක්ෂ වැනි කෙනෙත් පත්වීම ගැන. තාත්තා අගමැති, බාප්පා ජනාධිපති, මහප්පා ඇමැති, අනෙක් බාප්ප අතිප‍්‍රභලයෙක්. දැන් ක්‍රීඩාව දියුණු වෙන්න ඕනෑ. අපි එතුමාට සුබ පතනවා. ඒ වගේම දේශපාලනය ක්‍රීඩාවට ගාවා ගන්න එපා කියලා අපි ඉල්ලනවා. අපි ක්‍රීඩාවෙන් සූදුව ඉවත් කළා. නැවත සූදුව ක්‍රීඩාවට ගේන්න එපා කියලා අපි ඉල්ලනවා.

මේ ආණ්ඩුව කන්න දෙන්න මැටි වළඳේ සිට ළමුන්ට තලන්න වේවැලේ සිට අඳින බතික් රෙද්ද ගැනත් හිතලා තිබෙනවා. අපිට දුකයි කියලා තමයි කියන්න වෙන්නේ.

ඒත් අපි මේ ආණ්ඩුවට මාස තුන හතරක් දෙනවා ආතල් එකක් ගන්න, ඊට පස්සේ අපි ජනතාව වෙනුවෙන් කතා කරන්න පටන් ගන්නවා. ජනාධිපතිතුමාට දීපු ජන වරම ගැන හිතලා අපි ටිකක් නිහඬව සිටිනවා. අපි පිත්තල, බතික් ඇමැතිකම් ගැන කතා කරන්නේ නෑ. නැවෙන් මුදල් එනකම් බලාගෙන සිටි කෙනාට වරාය භාරදීලා තිබෙනවා. හරිම අපූරුයි. මේ රට ගල් යුගයකට ඇද දාලා තිබෙනවා කියලා තමයි අපිට නම් කියන්න වෙන්නේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස