කොරෝනා රෝගීන් මින්නේරියේ ධීවර බංගලාවක හැංගිලා! අපරාධය පිටුපස දේශපාලකයෙක් ඇති බවට චෝදනා!

November 7, 2020 at 11:07 am | by emanisa.lk

මාතර ප‍්‍රදේශයේ සිට පැමිණ ධීවර සංස්ථාවට අයත් මින්නේරියේ පිහිටි සංචාරක බංගලාවක නතර වී සිටි කොරෝනා ආසාදිතයින් තිදෙනකු ඊයේ (06) සවස සොයා ගත් බව පොළොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ඩබ්ලිව්. කේ. ඩබ්ලිව්. එස්. කුමාරවංශ පවසයි.

මොවුන්ට කොරෝනා රෝගය වැළඳී ඇති බවට පී. සී. ආර් පරීක්‍ෂණවලින් තහවුරු කර ගෙන තිබිය දී හොර රහසේ පැමිණ මෙහි සැඟවී සිටිය දී සොයා ගැනීමට හැකි වූ බව ද ඔහු කීය.

හිඟුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට ලැබුණු තොරතුරකට අනුව ධීවර සංස්ථාවට අයත් සංචාරක බංගලාව නිරෝධායන නීති යටතේ පරීක්‍ෂාවට ලක් කිරීමේදී මේ කොරෝනා රෝගීන් තිදෙනා හමුවී තිබේ.

මෙම කොරෝනා ආසාදිතයින් තිදෙනා සමග තවත් පුද්ගලයන් 04 දෙනකු එම සංචාරක බංගලාවේ නවාතැන් ගෙන සිටි බවත් ඔවුන් සිව් දෙනා පී.සී.ආර්. පරීක්‍ෂණ සඳහා යොමු කළ බවත් වෛද්‍ය කුමාරවංශ ප‍්‍රකාශ කළේය.

මේ අතර එහිදී හමු වූ කොරෝනා රෝගීන් තිදෙනා ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගත් බව ද කීය.

සෞඛ්‍ය අංශවල ‘ඇස්වලට වැලි ගසා’ කොරෝනා රෝගීන් මෙසේ හොර රහසේ සඟවා තබා ගැනීමට එක්තරා දේශපාලනඥයකුගේ මැදිහත්වීමක් තිබෙන බවට ද තොරතුරු ලැබී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

කොරෝනා නීති උල්ලංඝනය කරමින් මේ පිරිසට නවාතැන් දීමට කටයුතු කළ පිරිස් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා දැනුම්වත් කළ බව ද වෛද්‍ය කුමාරවංශ වැඩිදුරටත් පැවැසී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස