කොටි පරාද කරන්න සුවිශාල කාර්යභාරයක් කළ මම කොටින්ට උදව් කළා කියන්නේ බොරු දේශප්‍රේමීන්! – මංගල

September 18, 2020 at 11:44 pm | by emanisa.lk

එල්.ටී.ටී.ඊ. සංවිධානය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පරාජය කිරීම සඳහා හිටපු විදේශ අමාත්‍යවරයකු ලෙස රට වෙනුවෙන් සුවිශාල කාර්ය භාරයක් ඉටුකළ තමා වන්නකු ත්‍රස්තවාදීන්ට තොරතුරු දී ඇතැයි ආණ්ඩුවේ මාධ්‍ය හරහා සිදුකෙරෙන ද්වේශ සහගත ප්‍රකාශ දැඩි පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කර සිටින බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.

ඊළම ගොඩනැගීමට එරෙහි ප්‍රධානතම සතුරකු ලෙස එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් ප්‍රසිද්ධියේ ම ප්‍රකාශයට පත්කර, එම සංවිධානයේ ඝාතන ලයිස්තුවේ ඉදිරියෙන්ම සිටි තමාට මෙලෙස අවලාද නගන්නේ තමා මැතිවරණ දේශපාලනයෙන් සමුගෙන ‘සැබෑ දේශප්‍රේමියෝ’ නමින් මතවාදී මෙහෙයුමක් ආරම්භ කර ඇති නිසා බවද ඔහු කියා සිටියි.

“ආණ්ඩුවේ ඇතැම් මාධ්‍යවල පලවෙලා තිබුනේ මම ත්‍රස්තවාදීන්ට උදව් කරපු කතාවක්. අද ඉන්න ඔය හුඟක් කාඩ්බෝඩ් වීරයින්ට අමතක වෙලා තියනවා, එල්.ටී.ටී.ඊ. සංවිධානය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රබලව සිටිය වෙලාවක, කොළඹ බෝම්බ පුපුරුවා හරින වෙලාවක විදේශ ඇමති ලෙස මම කරපු කාර්ය භාරය.

ලක්ෂමන් කදිරගාමර් හිටපු ඇමතිතුමාගෙන් පස්සේ එල්.ටී.ටී.ඊ. සංවිධානය ජාත්‍යන්තර වශයෙන් පරාජය කරන්න, එම සංවිධානයට එන විදෙස් ආධාර උපකාර නවත්තන්න වැඩිම වැඩකොටසක් කලේ මම. ඇමරිකාවේ සහය අරගෙන එල්.ටී.ටී.ඊ. සංවිධානය යුරෝපා සංගමය තුල තහනම් කරන්න කටයුතු කලේ අපි. එල්.ටී.ටී.ඊ.යට ලෝකයේ හතරවටෙන් ගලාගෙන ආව මුදල් ආධාර, යුධ ආධාර නවත්වන්න මැදිහත්වුනේ අපි.

ඒ වෙලාවේ තමයි වේලුපිල්ලේ ප්‍රබාකරන් කළු කොටි දිනය අමතලා මාව අංක එකේ සතුරෙකු ලෙස ප්‍රකාශයකට පත්කළේ. මගේ නමත් ඝාතන ලැයිස්තුවට ඇතුලත් කරලා තිබුණේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස