ඉතා ම ඉක්මනින් 113 අහිමි කර උද්දච්ච ආණ්ඩුව ගෙදර යවනවා…! – විමල්…

March 24, 2022 at 5:46 pm | by emanisa.lk

මෙවැනි උද්දච්ච –අවලස්සන ඇමරිකානුවකු මුදල් අමාත්‍ය ධුරයෙහි තබාගෙන මේ රටට තවදුරටත් ඉදිරියට යා නොහැකි බවත් තමන් ඇතුළු පක්ෂ 11ක එකමුතුව ඉතාම ඉක්මනින් මේ ආණ්ඩුවට තිබෙන 113ක බහුතරය නැතිකර, මේ උද්දච්ච පාලනය අවසන් කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.

අද(24) දින මහනුවර මල්වතු මහා විහාරයේදී මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් වෙත ‘මුළු රටම හරිමගට’ ජාතික වැඩපිළිවෙළ පිළිගැන්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“පවතින ආර්ථික අර්බුදයෙන් එළියට ඒමේ මාවතක් ‘මුළු රටම හරි මගට’ නමින් අපි ආණ්ඩුවට පෙන්වා දුන්නා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අමාත්‍යවරුන් දෙදෙනෙක් ආණ්ඩුවෙන් ඉවත් කෙරුණා. අපි එය සතුටින් භාරගත්තා. පක්ෂ 11ක එකමුතුව විදිහට ඉහත කී ‘මුළු රටම හරි මගට’ ජාතික වැඩපිළිවෙළ මහනාහිමිවරුන්ට පිළිගැන්වීමටයි අද දින මහනුවරට පැමිණියේ. එමගින් අපේ ඉදිරි වැඩපිළිවෙළ මහනාහිමිවරුන්ට අපි ඉදිරිපත් කරනු ලැබුවා.”

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා,

“ආණ්ඩුව පත්ව ඇති අර්බුදයෙන් ගොඩඒමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යොදාගන්නා බවක් ඊයේ සර්ව පාක්ෂික සමුළුවේදී දැකගත හැකි වුණා…

පිළිතුර:- රනිල් වික්‍රමසිංහ මහත්තයාව පාවිච්චි කරනවාද, එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා කැමැත්තෙන් පාවිච්චි වෙනවාද, කියන එක මෙතැන වැදගත් නැහැ. කොහොම නමුත් එම සර්ව පාක්ෂික සමුළුවේදීත් මුදල් අමාත්‍යවරයාගේ හැසිරීමෙන් පෙන්වූ දෙයයි වැදගත්. සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නේ හැමෝම එකතු වෙලා, සමගි වෙලා වැඩ කරන්න. එකතු වෙලා, සමගි වෙලා වැඩ කිරීම කෙසේ වෙතත් හිටපු අග්‍රාමාත්‍යවරයකුට ‘ඔයා’ කියා කතා කරන්න තරම් තමන් උද්දච්ච මිනිහෙක් බව මුදල් අමාත්‍යවරයා එහිදී පෙන්වූවා. එතැනදීත් මුදල් අමාත්‍යවරයාට අවශ්‍ය සමගිය නොවෙයි ගැටුම. මෙහෙම අවලස්සන, උද්දච්ච ඇමරිකානුවකු තියාගෙන අපේ රටට ඉදිරියට යන්න බැහැ. අපි ඉතාම ඉක්මනින් මේ ආණ්ඩුවට තිබෙන 113ක බහුතරය නැති කරනවා, ඔය උද්දච්ච පාලනය අවසන් කිරීමට.

විපක්ෂයේ ඇතැමුන් ඔබතුමන්ලාට චෝදනා කරනවා, ‘එයාලා කොන්ත්‍රාත්තුවක් ඉටු කරන්නේ. බැසිල් රාජපක්ෂට ගහලා 2025 දී නාමල් රාජපක්ෂව ගෙන එන්නයි හදන්නේ’ කියා…

පිළිතුර:- අනේ මේ ඔය මොන රාජපක්ෂ කෙනෙක්වත් මේ රටේ පාලනතන්ත්‍රයට ගෙනඒමට අපි නම් ජීවිතේට කඩේ යන්න බලාපොරොත්තුවක් නැහැ. අපි මෙහෙම ක්‍රියාමාර්ගයක් ගැනීම නිසා විපක්ෂයේ ඇතැමුන් තමන්ට තිබෙන ‘මාකට් ෂෙයා’ එකට පහර වදීවි කියා බිය වී සිටින නිසයි එහෙම බොරු පද හදන්නේ. අපි මේ රටට ආදරේ නිසයි දේශපාලනය කරන්නේ, අපේ තනතුරු ගැන වද නොවෙන්නේ, තනතුරු අත්හරින මානසිකත්වයක් අපට තිබෙන්නේ.

මේ රට වෙනත් රටක කොලනියක් වෙන්න – මේ රටේ සම්පත් ටික විජාතිකයන්ට බිලි දෙන්න ඉඩ දී අපට නිහඩව සිටීමට බැහැ. ඒ නිසයි අපි මේ අවංක ක්‍රියාමාර්ග ගන්නේ. එහෙම ක්‍රියාමාර්ග ගනිද්දිත් කවුරුහරි ඔය වගේ ගොන් කතා කියනවා නම් ඒ අයගෙන් ඇසිය යුතුයි, ‘ඇයි ඔයාලා ඔය තරම් ගොන්?’ කියා.

2019 ජනාධිපතිවරණ වේදිකාවේදී කියූ දේවල්වලට ඔබතුමන්ලා ජනතාවගෙන් සමාව ඉල්ලන්න ඕනේ නේද?

පිළිතුර:- ජනතාවගෙන් සමාව ඉල්ලන්න ඕනේ මේ වැරැද්ද දැකදැක ඔහේ සිටියානම්. ඒ වැරැද්දට එරෙහිව නැගිටපු අපට සමාව ඉල්ලන්න අවශ්‍යතාවක් නැහැ. අපි එදත් කිව්වා, අපි පත් කරන ආණ්ඩුව වැරැද්දක් කළොත් ඊට එරෙහිව හිටගන්නවා, කියා. එහෙම කියලා ඒක නොකර හිටියොත් තමයි සමාව ගත යුත්තේ. සජිත් ප්‍රේමදාස හදන්න ගිය ‘සුරංගනා ලෝකයට’ වඩා මේ හැදිච්ච සුරංගනා ලෝකය භයානකකමින් අඩුයි. එයා හදන්න ගිය සුරංගනා ලෝකය හැදුණා නම් මෙහෙමවත් රට ඉතිරි වෙන්නේ නැහැ.”

ප්‍රජාතාන්ත්‍රික වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල යන හිටපු අමාත්‍යවරු ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ද ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් වීරසුමන වීරසිංහ, එක්සත් මහජන පක්ෂය වෙනුවෙන් ටිරාන් අලස්, යුතුකම සංවාද කවය වෙනුවෙන් ගෙවිඳු කුමාරතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ඇතුළු පක්ෂ 11ක එකමුතුවේ (11 Parties Alliance) නායකත්වය එම අවස්ථාවට එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස