ආණ්ඩුවේ සීතල යුද්ධය නිමයි…! විමල්-බැසිල් රහස් හමුවක්…!

July 4, 2021 at 5:36 pm | by emanisa.lk

බැසිල් රාජපක්ෂ සහ අමාත්‍ය විමල් වීරවංශ අතර රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වෙයි.

පසුගිය බදාදා පෙරවරුවේ මෙම හමුව පවත්වා ඇත්තේ මේ දිනවල බැසිල් රාජපක්ෂ නිරෝධායනය වන කොළඹ ෂැංග්‍රිල්ලා හෝටල් පරිශ්‍රයේය.

හමුව සඳහා සහභාගී වී ඇත්තේ බැසිල්-විමල් දෙදෙනා පමණි. මෙම හමුව සඳහා විමල්ට ආරාධනා කර ඇත්තේ බැසිල් රාජපක්ෂ බව දැන ගන්නට තිබේ.

පසුගිය කාලයේ බැසිල් රාජපක්ෂ හිතවාදී මන්ත්‍රීවරුන් හා විමල් හිතවාදීන් අතර පැවැති දේශපාලන අරගලය නිමාකර පෙර මෙන් සමගියෙන් ඉදිරියට යාමට අවශ්‍ය පසුබිම මෙම හමුවේ දී සැකසුණු බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු පැමිණීම සම්බන්ධව විමල් හිතවාදී කණ්ඩායමේ මතය ද මෙහි දී බැසිල් විමසා ඇතැයි සඳහන්ය. ඒ ගැන තමන් ඇතුළු කණ්ඩායමේ කිසිදු විරෝධයක් හෝ අහිතක් නැතැයි විමල් එහිදී කියා තිබේ.

පැය දෙකකට ආසන්න කාලයක් මෙම බැසිල්-විමල් හමුව පැවැත්විණි. විමල් සමඟ සාකච්ඡා කළ ආකාරයට උදය ගම්මන්පිල අමාත්‍යවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨයන් සමඟද සාකච්ඡා කරන බව බැසිල් රාජපක්ෂ, විමල් වීරවංශට අවසානයේ දැනුම් දී තිබේ. එසේම උදය ගම්මන්පිලගේ විශ්වාසභංගය පරාජය කිරීමට එකඟතාවක් ඇති වූ බව ද සඳහන් වෙයි.

මෙම අතිශය රහසිගත හමුව අවසානයේ ඔවුන් ‍දෙදෙනා විශේෂ තීන්දුවකට එළැඹිණි. යම් හෙයකින් මෙම රහස් හමුව ගැන මාධ්‍ය වාර්තා පළවුවහොත් බැසිල් විමල් දෙපාර්ශ්වයම එම වාර්තා තරයේ ප්‍රතික්ෂේප කළ යුතුය යන්න ඔවුන් එළඹුණු පොදු තීන්දුවයි.

මෙම හමුවෙන් පසු බැසිල් හිතවාදීන් හා විමල් හිතවාදීන් අතර පසුගිය කාලය පුරා හටගෙන තිබූ අතිශය බරපතළ මාධ්‍ය යුද්ධය හමාර වනු ඇතැයිද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස