නුගේගොඩ රැලිය බැසිල්ගේ වැඩක්! විමල් කතාවක් කළා විතරයි! ඊට වඩා දෙයක් කළා නම් හෙළි කරනු! – මහින්දගෙන් විමල්ට අභියෝගයක්…

November 3, 2020 at 10:51 am | by emanisa.lk

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් පහත දැක්වෙයි.

උරුමක්කාර කම් කියමින් කරන කණවැන්දුම් අඳෝනා කෙළවරක් නැති නිසා ඒ ගැන සත්‍ය ලිවීමට සිදුවීම ගැන කණගාටුවෙන් වුව ලියමි. මේවා මේ මොහොතේ මාතෘකා විය යුතු ම නොවේ. එහෙත් එක්තරා කල්ලියක් විසින් නැවත වරක් බැසිල් රාජපක්ෂ මහතා ගැන බොරු ප්‍රචාරයක් ගෙන යමින් කරන කන්දොස්කිරියාව නිසා ම ලියමි.

පරම සත්‍ය නම් නුගේගොඩ රැලිය කොළඹ නියෝජනය කරමින් සංවිධානය කළේ ගාමිණි ලොකුගේ ඇතුළු පිරිසයි. ගම්පහින් එය ප්‍රසන්න රණතුංගයි. තවත් එවක ශ්‍රීලනිප මන්ත්‍රීවරු රැසක් සිටියහ. සියල්ල සිදු කළේ ඒ වන විට ඇමරිකාවට ගොස් සිටි බැසිල් රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ බවද අවධාරණය කරමි.

කොටින් ම එදින ජනතාව රැගෙන පැමිණි සියලු බස්රථවලට මුදල් ⁣ගෙවන ලද්දේ පවා බැසිල් රාජපක්ෂ මහතා විසිනි. සෙනග රැගෙන ආවේ බැසිල් රාජපක්ෂ මහතාගේ ඍජු මැදිහත් වීම මත ලංකාවේ හතරදිග් භාගයේ සිටින ප්‍රාදේශීය, නගර සභා ඇතුළු මන්ත්‍රීවරුන් ය. ඕනෑම රැළියකට සේම ස්වේච්ඡාවෙන්ම පැමිණි විශාල පිරිසක් ද ඊට සහභාගි වූ බව ඔවුන්ට සාධාරණනයක් ලෙස කියමි.

ඒ නිසා නුගේගොඩ මතක් කරමින්, අඳෝනා තබමින් විමල් වීරවංශ කල්ලිය ගෙන යන තුච්ඡ වැඩ වැඩ පිළිවෙළ අප්‍රසන්න එකකි. වීරවංශ නුගේගොඩ දී කළේ එක් දෙයක් පමණි. ඒ කතාවක් පැවැත්වීමයි. ඊට වඩා කිසිවක් ඔහුගෙන් සිදු නොවීය. තිබේ නම් කියන ලෙස අභියෝග කරමි. ඒ නිසා, නුගේගොඩ මතක් කරමින්, තම කොටස නොදුන් බව අඟවමින් ගෝලයින් ලවා කොස් ඇට බාවන වැඩේ විමල් වීරවංශ මහතා විසින් දැන්වත් නැවතිය යුතු වේ.

මන්ද මේ දේශපාලනය කරන කාලය නොව, රට හැදීමට උරදෙන කාලය නිසාය. අමතර වශයෙන් කිව යුත්තේ 20 වැනි සංශෝධනය අනුමත වීම තමන්ගේ පරාජයක් ලෙස විමල් සිතන්නේ නම් එය ඔහුගේ හීනමානයේ ප්‍රශ්නයක් මිස අපගේ ප්‍රශ්නයක් නොවන බවයි. අප නම් ඔහු ගැන එසේ සිතන්නේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස