ඇවිදින මංතීරු ගමට ගෙන යා යුතුයි…! – වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි

October 13, 2021 at 8:30 am | by emanisa.lk

“ඇවිදින මං තීරු” ගැන මේ දිනවල වැඩි සමාජ අවධානයක් ඇති වෙලා. ඒ අතර, දේශපාලනික අරමුණු මත සහ සමාජ මාධ්‍ය ඔස්සේ නිෂේධනාත්මක අදහස් පළ වනු දැකිය හැකියි. ඇවිදින මං තීරුවල ව්‍යායාමයේ යෙදෙන්නෙක් මෙන්ම වෛද්‍යවරයෙක් වශයෙන් ඔබ මෙය දකින්නේ කෙසේ ද?

ක්‍රියාකාරීව ඇවිදීම ඔස්සේ අපට සෞඛ්‍යය හරි පැත්තට ගැනීමට පුළුවන්. “ඇවිදින මංතීරු” සංකල්පය අපේ රටට හඳුන්වා දුන්නෙ 2012 වර්ෂයේදි. ඒ, එවක රජයේ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයාව සිටි අපේ රටේ වත්මන් ජනාධිපතිතුමා විසින්. ඊට කලිනුත් රටේ සුළු පිරිසක් කොතැනක හෝ නිදහස් තැනක ඇවිදීමේ යෙදුණා. අපත් ඒ කොටසට අයත්. ඒ නිසා මම අත්දැකීමෙන්ම දන්නවා ඇවිදින මං තීරු සංකල්පය හඳුන්වා දුන්නාට පසුව ඉන් උපරිම ඵල ලබන විශාල පිරිසක් සිටින බව. 2015 වර්ෂයේ දී සිදු වූ ආණ්ඩු පෙරළියෙන් පසුව මේ යහපත් සංකල්පය ඉදිරියට ගියේ නෑ. මාධ්‍ය හරහා නිතර අපි ඒ ගැන හඬක් නැඟුවා. ඇයි මෙහෙම වෙන්නෙ? කියලා ප්‍රශ්න කළා. මොකද, ආණ්ඩු වෙනස් වුණත් ජනතාවාදී වැඩපිළිවෙළ පෙරට යා යුතු නිසා. හරි නම් සිදු විය යුතුව තිබුණේ ඒවා තව තවත් ඉදිකිරීම. ඒත් එය සිදුවූයේ නෑ. අප මේ ගැන කතා කළේත් කතා කරන්නෙත් මේවාත් සමඟ සමීප ගනුදෙනුවක සිටින අයෙක් වශයෙන්. එය සිදු වෙන්නෙ දේශපාලනයෙන් පිට.

රටේ ප්‍රශ්න තියෙනවා කියලා මේවා නතර කළ යුතු ද කියන එක ගැන මීට වඩා හිතන්න වෙනවා. මොකද ඇවිදීන මං තීරු කියන්නෙ මිනිසුන්ගේ සෞඛ්‍යය යහපත් ව තියා ගන්න හේතු වන, අවශ්‍ය කරන තැනක්. ඉන් ආර්ථිකයට වගේම ජීවිතයට ඇති වන ප්‍රතිලාභ ගැනත් අපි බලන්න ඕනෑ.

අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය බර බිලියන ගණනක්. මිනිස්සු ලෙඩ්ඩු වෙන්න පටන් අරන් තියෙද්දි විශේෂයෙන් බෝ නොවන රෝග ගැන අපට අවධානය යොමු කරන්න වෙලා. මේවා නිසා අවුරුද්දකට වෙන මරණ සංඛ්‍යාව සටහන් වෙන්නේ 138,000ක් වගේ ඉලක්කම් වලින්. අවුරුදු 3 -4 ක් තිස්සේ මේ තත්ත්වය මේ විදිහයි. අපි මේ කතා කරන්නෙ අවුරුදු 30 – 69, ඒ කියන්නෙ වැඩිහිටි වියට එළැඹීමට පෙර සිදු වන මරණ ගැන. මේ මරණ අතරින් 4/5 ක්ම බෝ නොවන රෝග නිසා සිදු වන මරණ. මේ මරණ වළක්වා ගැනීම සඳහා ශාරීරික ක්‍රියාශීලී බව පවත්වා ගැනීම, මානසික පීඩනයෙන් තොරව සැහැල්ලු මනසක් ඇති කර ගැනීම, නිසි පෝෂණය, මත්පැන්-දුම්වැටි ආදී අයහපත් සෞඛ්‍ය පුරුදුවලින් බැහැර වීම අවශ්‍ය වෙනවා. දැනටත් බෝ නොවන රෝගවලින් පෙළෙන අයටත් ඒවා පිළිපැදීම වගේම නිවැරැදි වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර මඟින් ජීවිතය යළි ගොඩනඟා ගැනීමට පුළුවන්. කායික අක්‍රියශීලී බව කියන සාධකය ගත්තොත් අපේ රටේ සංඛ්‍යා ලේඛන අනුව පිරිමි අයගෙන් 21% ක් සහ කාන්තාවන්ගෙන් 37% ක් කායිකව අක්‍රියශීලී අය. මේක මහා වැරැදි තත්ත්වයක්. ස්ථුලතාව ගත්තොත් පිරිමි අයගෙන් 3% ක් හා කාන්තාවන්ගෙන් 8% ක් ස්ථුලතාවයෙන් පෙළෙනවා. බෝ නොවන රෝග මේවාත් එක්කත් සම්බන්ධයි. බෝ නොවන රෝග පිළිබඳ ව අපි නරක තැනක සිටිය දී මේ කාරණා දෙස අපි බලන්න ඕනෑ පක්ෂ පාට ඔළුවෙ තියාගෙන නම් නෙවෙයි. ඒ නිසා, අප කියන්නේ ඇවිදින මං තීරු ගමටත් ගෙන යා යුතු බවයි. අපි මේ ගැන දිගටම කතා කළා. තවමත් කතා කරනවා. මේක විය යුතු දෙයක් කියල සිහිපත් කරල දෙන අතරම මේ කාරණයත් එක්ක පෞද්ගලික අරමුණු පටලවාගන්න එපා! කියලයි අපට ඉල්ලන්න තියෙන්නේ.

ඇවිදින මංතීරු කියන්නෙ අත්‍යවශ්‍ය ප්‍රමුඛතාවක් නෙවෙයි කියලත් මතයක් පළ වෙනවා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

වෛද්‍යවරු හැටියට, දන්න හඳුනන අපි කතා බහ කරන කොට දැනුම්වත් වන කාරණයක් තිබෙනවා. කොවිඩ් ප්‍රශ්නය ඇවිත් දැන් අවුරුදු දෙකකට කිට්ටුයි. මේ කාලයේ සමාජයේත් වැඩි අවධානයක් තිබුණේ කොවිඩ් මරණ ගැන. අපි ඒවා ගණනය කළා. ලොක්ඩවුන්, නිරෝධායනය වගේ දේවල් තමයි අපට නිතර ඇසුණෙත්. වැඩියෙන් යෙදෙන්න වුණෙත් මේවා වෙනුවෙන්. ඒ අතරතුර බෝ නොවන රෝග වලින් මිය යන සංඛ්‍යාව වෙනදාටත් වඩා වැඩි වෙලා කියන කාරණය අපට පෙනෙනවා. දැනෙනවා.

මේ කාලයේ මානසික පීඩනය ඉහළ යෑම වගේම මානසික සැහැල්ලුව අඩු වීමත් සිදු වුණා. බෝ නොවන රෝගවලින් පෙළුණ මේ වැඩිහිටි පිරිස එදිනෙදා ඇවිදීමේ ව්‍යායාමයේ යෙදෙන්නත් හුරුවෙලා සිටියා. පසුගිය කාලයේ ඔවුන්ට එය මඟ හැරුණා. නිවැරැදිව සෞඛ්‍ය උපදෙස් ගැනීමට තමන්ගේ සායනවලට පැමිණීමේ අපහසුවකුත් ඔවුන්ට තිබුණා. ඒ නිසා මේ මරණ අකාලයේ සිදු වූ ඒවා හැටියටයි සලකන්න වෙන්නෙ. ඒ විදිහට වාර්තා නොවුණත් ඇත්ත එයයි. ඒ නිසා, රටට විතරක් නෙවෙයි, ලෝකයටම විනාශයක් වුණු කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අපේ ජීවන රටාව නිවැරැදිව පවත්වා ගැනීම අවශ්‍ය වෙනවා. ඒ සඳහා කායික ක්‍රියාශීලීත්වය වගේම මානසික සැහැල්ලු බවත් පවත්වා ගත යුතුයි. යම් හෙයකින් මේ රෝගය වැළඳුනත් සංකූලතා අවම කර ගැනීමට එවැනි දිවි පෙවෙතකට හුරු වීම හේතු වෙනවා. ඒ නිසා ප්‍රශ්න තියෙද්දි මේක ප්‍රමුඛතාවක් ද කියන එක තර්කයක් ලෙස වුණත් වලංගු නෑ.

පොළොන්නරුවෙ ඇවිදින මංතීරුව ඉදිකිරීමට යෑමේදීත් ඊට විරෝධය පළ කළ අය කීවෙ මෙහෙ ඉන්න මිනිස්සු කුඹුරු කොටන, මහන්සි වෙලා වැඩ කරන අය නිසා ඕවයින් වැඩක් නෑ කියලා. මේ කතාවෙ ඇත්තක් තියෙනවා ද?

හුඟක් දෙනා කියන කතාවක් තමයි, අපට අමුතුවෙන් ව්‍යායාම කරන්න දෙයක් නෑ. අපි හරියට ගෙදර වැඩ පල කරන්න මහන්සි වෙනවා කියලා. හැබැයි, වෛද්‍ය විද්‍යාත්මකව කියන්න තියෙන්නෙ නිවැරැදි ව්‍යායාමය ශරීරයට අවශ්‍ය බව. දවසේ යම් කාලයක් තුළ එහි යෙදීම මනා ඉන්ද්‍රීය ක්‍රියාකාරිත්වයක් සඳහා අවශ්‍යයි. විශේෂයෙන් වේගයෙන් ඇවිදීම හෘදය වස්තුවට හිතකරයි. හෘදය වස්තුව තමන්ගේ කාර්යය කිරීමේ දී වෙහෙසක් ගන්නවා. ඇවිදීම මඟින් අඩු වෙහෙසකින් මේ කාර්යය කරන්න හෘදය වස්තුව හුරු වෙනවා. අපි කවුරුත් කැමැතියි අපේ දිවි පෙවෙත නීරෝගිව පවත්වා ගන්න. මෙය ඒ සඳහා විශාල රුකුලක්.

මේ දේ, ගෙදර වැඩ පල කරලා, කුඹුරු කොටලා වෙන්නෙ නෑ. අපි හැමදාම කුඹුරු කොටන්නෙත් නෑ. නීරෝගි දිවි පෙවෙතක් සඳහා කායික සුවපත් භාවය වගේම මානසික සුවතාවත් අත්‍යවශ්‍යයි. ඉන් ස්වභාවිකව ලැබිය හැකි ආශ්වාදය මානසික සැහැල්ලුව පිණිසත් හේතු වෙනවා. ඇවිදින මංතීරු මත මේ ව්‍යායාමයේ යෙදෙනවා කියන්නෙ එය පමණක්ම නොවෙයි. උදෑසන හෝ සවස් කාලය අනුව ඒ පරිසරය තුළ සතා-සීපාවාට ගහකොළට සමීපව එසේත් නැතිනම්, හිරු-සඳු ඒ ඒ වේලාව අනුව ඇති කරන වෙනස්කම් නිරීක්ෂණය කරමින් අපට එහි යෙදීමට පුළුවන්.

පරිසර වින්දනයට හුරුවීමත් ජීවිතයට විශාල උත්තේජනයක්, ප්‍රබෝධයක් ගෙනෙන කාරණයක්. ඒක ගොවියාටත් අදාළයි. ඒ නිසා මේක පටලවා ගන්න එපා.

ඇවිදින මංතීරු හදන්නෙ ධනපති පන්තියේ අවශ්‍යතාව වෙනුවෙන් බවටත් හඬක් නැඟෙනවා. දිනපතාම මේවා භාවිත කරන කෙනෙක් හැටියට ඔබට මෙය හොඳින්ම දැනෙනවා ඇති. ඇත්තටම මේවායින් ප්‍රයෝජන ලබන්නෙ ධනපති පන්තිය විතර ද?

මගේ අත්දැකීම නම්, ඒක එහෙම නෙවෙයි කියන එක. මම හැමදාමත් උදේ පාන්දරින් ම, රාජකාරියට යෑමට කලින් මේ ඇවිදින මංතීරුවල යම් කාලයක් ඇවිදිමින් ගත කරනවා. කාලයක් තිස්සේ ඒක මගේ පුරුද්දක්. මේවායෙ ඉන්නෙ කවුද කියන එක ගැන ඒ නිසා මට හොඳින්ම දැනෙනවා. අවබෝධයකුත් තියෙනවා. ඇත්ත නම් ධනපති, දුගී, කම්කරු ආදී නොයෙක් භේද මෙතැනට අදාළ නැති බව. මේ සෑම සමාජ තීරුවකම අය මෙතැන සිටිනවා. ඇවිදින මංතීරුවට එන්නෙ තමන්ගේ සෞඛ්‍ය ගැන සුබවාදීව හිතන මිනිස්සු. ඒ හැමෝගෙම අපේක්ෂාව මෙයින් ප්‍රතිලාභයක් ලැබීම. ඊට ප්‍රවේශයක් දිය යුතුයි.

මෙවැනි පරිසරයක් විඳිනවා කියන්නෙ ඒ හරහා උත්තේජනයකුත් ලැබෙනවා කියන එක. එය නීරෝගි ජීවිත පැවැත්මක් සඳහා හේතු වෙනවා. දශක 6ක් විතර තිස්සේ අප මෙවැනි දිවි පෙවෙතක් ගත කරන්නේ ඉන් ප්‍රතිලාභ ලැබූ නිසා බවයි ඇත්ත. අනෙක් අය සම්බන්ධයෙනුත් එය එසේ විය යුතුයි. මේවා නගරයට පමණක් සීමා විය යුතු නෑ. ගමටත් යා යුතුයි.

ඊට මිලියන, බිලියන ගණන් වැය කරන ව්‍යාපෘතිම අවශ්‍ය වෙන්නෙත් නෑ. ගමක පොඩි ලඳු කැලෑවක්, වැවක් ආශ්‍රිතව ඇවිදින මං තීරු ඇති කිරීමට පුළුවන්. ඒවා කි.මී. 3 – 4 දුර වෙන්න ඕනැත් නෑ. කි.මී.1ක් වුණත් ප්‍රමාණවත්. රවුමක් විදිහට වුණත් එය සැකසීමට පුළුවන්. සෑම ගමකටම මේවා ඉදිකිරීමට බැරි නම් ගම් තුන හතරක් එකතු කරලා වුණත් ඇවිදින මං තීරුවක් හදන්න පුළුවන්.

ඔබට හුරුපුරුදු මේ ඇවිදින මංතීරුවල දී ඔබ නිරීක්ෂණය කරන හැටියට ඒවා නිසා පරිසරයට හානියක් වෙලා තියෙනවා ද?

පරිසරය ආරක්ෂා වීමක් මිසක් හානියක් නම් වෙලා නෑ. මීට අවුරුදු 3-4 කට කලින් නම්, දියවන්නාවේ කිඹුලාවල ඉදි කරල තියෙන ඇවිදින මං තීරුව ආශ්‍රිතව එතෙක් ආරක්ෂිතව තිබුණු ඒ පරිසර පද්ධතිය උඩ යටිකුරු කළ තත්ත්වයත් අපි දුටුවා. කුරුල්ලො, සතා සීපාවෝ පවා ඒ පරිසරය මඟ හැරියා. ඒ අවස්ථාවෙ නම් අපි අපේ නිර්මාණ හරහාත් ඊට විරෝධය පළ කළා. ඒ නිසා ඒ වගේ දේවල් වෙන්නෙ ඒ පවතින රජයේ හරි පුද්ගල හරි අරමුණු සමඟ. විවිධ ආණ්ඩු එනවා යනවා. මොන රජය බලයට පත් වුණත් හොඳ දේවල් හරි දේවල් ඉදිරියට යා යුතුයි. ආරක්ෂා කර ගත යුතුයි. මේවා ගැන ජනතාව නිවැරැදිව දැනුම්වත් කිරීමත් අවශ්‍ය වෙනවා. මොකද මේවා දේශපාලන කාර්යයන් නෙවෙයි. මේවායේ ප්‍රතිලාභ ගැන ආණ්ඩුවත් දේශපාලනයෙන් තොරව ජනතාවට අවබෝධ කළ යුතුයි වගේම මේවාට විරුද්ධ වෙන අයත් අපි හැම දේටම විරුද්ධ විය යුතුද කියන එක ගැන සිතන්න ඕනෑ. මෙවැනි කාර්යයන්ගේ ප්‍රතිලාභ ජනතාවට සහ රටට බව ඔවුන් අවබෝධ කර ගත යුතුයි.

මොන කාලයේ වුණත් පවතින රජයේ වැරැදි, අපි වැරැදි ලෙස දකිනවා වගේම හරි දේ හරි ලෙසත් දකිනවා. වැරැදි පෙන්වා දීම, විවේචන කිරීම අවශ්‍ය අවස්ථාවලදී කළ යුතුයි.

ජනමාධ්‍ය හරහාත් අප එය කරනවා. ඒ, යම් පෞද්ගලික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් නම් නෙවෙයි. රට ගැන ආදරයක් හැඟීමක් ඇති නිසයි.

ඒ නිසා, කොවිඩ් ප්‍රශ්න, රැකියා ප්‍රශ්න, වැටුප් වැඩි කිරීම පිළිබඳ ව ප්‍රශ්න ගැන අවධානය යොමු කරන අතර ම ජනතාවගේ සුව සම්පතට බලපාන මේ කාරණය ගැනත් අපි සිතමු. ජීවත් වෙනවා කියන්නෙ ඔහේ ජීවත් වෙනවා කියන එක නෙවෙයි. හදවත ගැහෙනවා නම්, ශ්වසන පද්ධතිය, ආහාර මාර්ග පද්ධතිය වැඩ කරනවා නම් ජීවත්වෙනවා කිව්වට අප ගමන් කළ යුතු වන්නේ ගුණාත්මක ජීවිතයකට. එහිදී නිසි පෝෂණය, කායික ක්‍රියාශීලීත්වය, මානසික සැහැල්ලුව, විවේකය, නින්ද වගේ දේවල් අත්‍යවශ්‍යයි. ඒ ඇතැම් කරුණු සපුරා ගැනීමට ඇවිදින මංතීරු විශාල රුකුලක්. නීරෝගි දිවි පෙවෙතක් සඳහා ඉන් සැලසෙන යහපත ප්‍රබලයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස