ආයතන 473ක් කොවිඩ් මාර්ගෝපදේශ කඩලා…! ආයතන ප්‍රධානීන්ට එරෙහිව නීතියෙන් කටයුතු කරනවා…! – පොලිසිය…

January 15, 2021 at 8:14 am | by emanisa.lk

කොවිඩ් මාර්ගෝපදේශ කඩ කළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 473ක ප්‍රධානීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව රාජ්‍ය සහ පෞද්ගලික ආයතන කටයුතු කරන්නේද? නැද්ද? යන්න සොයාබැලීමට සෞඛ්‍ය අංශ සහ පොලිසිය ඒකාබද්ධව විශේෂ හදිසි මෙහෙයුමක් බස්නාහිර පළාතේ ඉකුත් දින දෙකේදී කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කරයි.

එහි දී රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 2823ක් පරීක්ෂාවට ලක්කෙරුණු අතර එයින් ආයතන 2350ක් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ක්‍රියාකරන බව අනාවරණය වී ඇත. ආයතන 473ක් නිසි සෞඛ්‍ය ක්‍රමවේද යටතේ කටයුතු නොකරන බවද අනාවරණය වී තිබේ. එම රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල ප්‍රධානීන්ට එරෙහිව ඉදිරියේදී නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියයි.

කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ආයතනවල හිමිකරුවන් තම ආයතනවලට ඇතුළුවන ස්ථානවල සබන් ගා අත් සෝදා ගැනීමට යම් දියරයක් හෝ සබන් තැබීමටත්, ඇතුළුවන පුද්ගලයන්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීමට අවශ්‍ය පහසුකම් සලසා දිය යුතු බව දන්වා සිටි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, එමෙන්ම ආයතනවලට ඇතුළුවන සහ පිටවන අය සම්බන්ධයෙන් ලේඛනයක් පවත්වා ගෙන යා යුතු බවත්, ඇතුළත දුරස්ථභාවය පවත්වා ගෙන යා යුතු බවත් අවධාරණය කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස