අංගොඩින් පැන්න ආසාදිතයා ගමන් මග ගැන බොරු කියලා! අතරමග නිවසකට පැන ඇඳුම් මාරකර පාපැදියකුත් හොරකම් කරලා!

July 25, 2020 at 5:07 pm | by emanisa.lk

IDH රෝහලෙන් ඊයේ (23) දිනයේදී පැන ගිය කොරෝනා ආසාදිත පුද්ගලයා සිය ගමන් මාර්ගය සම්බන්ධයෙන් ලබාදී ඇති තොරතුරු අසත්‍ය බවට හෙළිවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කරයි.

මෙම රෝගියා IDH රෝහලෙන් පළා යමින් සිටියදී රෝහලේ දී තමන් ඇඳ සිටි ඇඳුම් ගලවා අතරමග පිහිටි නිවසකට ඇතුල්වී එහි තිබු ඇඳුම් ඇඳ එහි තිබු පාපැදියක් සොරා ගෙන කොළඹ, කොටුව දෙසට පළා ගොස් ඇති බව මේ දක්වා සිදුකළ පරීක්ෂණවලින් කරුණු අනාවරණය වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හෙළි කළේය.

මෙම කොරෝනා රෝගියා ගමන් කළ බවට පළමුව හෙළිකළ තොරතුරු අසත්‍ය බවට හෙළිවීමත් සමග ඔහු IDH රෝහලේ සිට කොළඹ කොටුව ප්‍රදේශයට ගමන් කළ ආකාරය ගැන සොයා බැලීමට ආරක්ෂක අංශ විසින් මේ වන විට CCTV කැමරා සහ වෙනත් සාක්ෂිකරුවන් යොදා ගනිමින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙම පුද්ගලයා ඇඳුම් සහ පාපැදිය සොරා ගත් නිවස සෞඛ්‍ය අංශවල උපදෙස් මත විෂබිජහරණයට ලක් කොට ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙම රෝගියා වගකීම් විරහිතව ක්‍රියා කිරිම හේතුවෙන් ඔහුට එරෙහිව නිරෝධායන පනත සහ දණ්ඩ නීති සංග්‍රහය අනුව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස