මෛත්‍රී රනිල් දීගේ කඩන්න කිසි ජගතෙකුට බෑ! අපි ඒ දීගේ දිවිහිමියෙන් රකිනවා!

February 21, 2019 at 11:54 am | by admin

අද වේදිකාවල එක එක්කෙනා එක එක කතා කියනවා. අර ගොල්ලෝ එකතු වුණා. මේ ගොල්ලෝ එකතු වුණා කියලා වේදිකාවල කියාවි. නමුත් මම ඉන්නකම් මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගෙත්, රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙත් මේ දේශපාලන විවාහය නම් දික්කසාද කරන්න මොනම ජගතකුටවත් ඉඩ තියන්නේ නැතැයි නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැවැසීය.

අමාත්‍යවරයා මේ බව පැවැසුවේ සෙවණගල නුගේගලයාය ප්‍රදේශයේ ඉදි වූ 165 වන උදාගම්මානය වන මිණිපහන්ගම උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. නිවාස 28කින් සමන්විත මෙම උදා ගම්මානය ජලය, විදුලිය හා මහාමාර්ග පහසුකම්වලින්ද සමන්විතය. නිවාස ව්‍යාපෘතිය සඳහා වියදම් කර ඇති මුදල රුපියල් ලක්ෂ 935කි.

උත්සව සභාව අමතමින් අමාත්‍යවරයා මෙසේද පැවැසීය. අපි මේ රනිල් මෛත්‍රි විවාහය දිවි හිමියෙන් ආරක්ෂා කර ගන්නවා. මොකද මේ රටේ වැඩි බහුතරයක් ජනතාව කතිරය ගැහුවේ මෛත්‍රි රනිල් විවාහය සිදු කරන්න මිසක් වෙන විවාහ සිදු කරගන්න නෙවෙයි. මේ රටේ මිනිස්සු කතිරය ගැහුවේ නෑ එක එක්කෙනාට හොර පාරෙන් ඇවිත් අගමැති වෙන්න හෝ වෙනත් මැති ඇමැතිකම් ගන්න. අද මේ ආණ්ඩුවට මේ තියෙන්නේ නියම ජනවරමයි. මේ තියෙන්නේ නියම ජනතා ඡන්දයෙන් ආ ආණ්ඩුවක් මිසක් හොර පාරෙන් ආ ආණ්ඩුවක් නෙවෙයි. ඒ නිසා මේ රටේ ජනතාව ලබාදුන් ජන වරම අපි දිවි හිමියෙන් ආරක්ෂා කරනවා වගේම මේ දේශපාලන දීගයත් කාටවත්ම කඩන්න ඉඩ තියෙන්නෙත් නෑ කියන එක එම වගකීමෙන් යුතුව කියනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස