ගෝඨාට එරෙහි නඩුවේ සාක්කිකරුත් ගෝඨාට සුබ පතයි! අධිකරණයෙන් අවවාද!

January 26, 2019 at 1:59 am | by admin

ඉකුත් රජය සමයේ හම්බන්තොට, මැදමුලන ප්‍රදේශයේ ඩී.ඒ. රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම තුළින් රුපියල් මිලියන 34කට ආසන්න රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනාකරමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ 67 වැනි සාක්‍ෂිකරු ලෙස නම් කර සිටින භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙ සභාපති ඩබ්ලිව් එම්. ඒ. ඉද්දවෙල මහතාට තරයේ අවවාද කළ කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය සිය නිලයේ ගෞරවය ආරක්‍ෂා වන ආකාරයෙන් කටයුතු කරන ලෙස දැනුම් දුන්නේය.

මෙම නඩුව ඊයේ (25දා) සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය කෙරිණි.

අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඉකුත් 22 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේදී නඩු විභාගය ආරම්භ වීමට ප්‍රථම අධිකරණ ශාලාව තුළ වාඩිවී සිටි සාක්‍ෂිකාර ඉද්දවෙල මහතා නැඟිට ගොස් විත්තිකාර ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අතට අත දී සතුටු සාමීච්චියේ නිරත වී ඇතැයි කීවේය.

සාක්‍ෂිකරුවකුට මේ ආකාරයෙන් කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවත් අධිකරණ ශාලාව යනු සතුටු සාමීචි පවත්වන ස්ථානයක් නොවන අතර මින් මතුවට එවැනි ක්‍රියාවල නොයෙදෙන ලෙස සාක්‍ෂිකරුට අවවාද කරන්නැයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස