සුරාපානයෙන් වසරකට 20000ක් මැරෙද්දි වසර දෙකකදී අලුත් බාර් ලයිසන් 84ක් දෙයි!

October 2, 2019 at 12:28 pm | by emanisa.lk

අධික ලෙස සුරාපානය නිසා හටගන්නා රෝගාබාධවලින් ශ‍්‍රී ලාංකිකයන් 18,000-20,000ත් අතර සංඛ්‍යාවක් වාර්ෂිකව මියයන බව ජාතික දුම්කොළ හා මද්‍යසාර අධිකාරියේ වෛද්‍ය සංජීව රණවීර පවසයි.

කෙසේ වුවද මෙරට ජනගහනයෙන් සුරාපානය කරනුයේ 20%ක් වැනි සුළු ප‍්‍රතිශතයක් බවත් සුරාපානය කරන අයගෙන් 97%ක් පමණම පිරිමින් බවත් කාන්තාවන් ඒ අතර සිටිනුයේ 3%ක් වැනි සුළු ප‍්‍රතිශතයක් බවත් අවධාරණය කළේය.

මෙරට මත්පැන් පානය කරන ප‍්‍රතිශතය සුළු වුවද දුම්පානයෙන් වාර්ෂිකව මියයන සංඛ්‍යාව හා සමාන සංඛ්‍යාවක් මත්පැන් පානය කිරීමෙන්ද මිය යන නිසා මත්පැන් භාවිතය නතර කිරීම සඳහා සිගරැට් පැකට්ටුවල සඳහන් පරිදි මත්පැන් බෝතල් ඇසුරුම්වලද ඒවා භාවිත කිරීමේ ආදීනව සඳහන් රූපමය සෞඛ්‍ය අවවාද පළකිරීම කාලෝචිත බව හෙතෙම පෙන්වා දෙයි.

අරක්කු, බියර්, කසිප්පු, ඇතුළු කුමන මද්‍යසාර වර්ගයක් භාවිත කළද ඒවා පානය කරන අයට මෙන්ම ඔවුන්ගේ පවුල්වලට විශාල කායික, මානසික හා සමාජයීය පරිහානියක් සිදුවන බව වෛද්‍ය සංජීව රණවීර පවසයි.

මෙහිදී අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්ද කියා සිටියේ මත්පැන් භාවිතය හේතුවෙන් මෙරටට සිදුවන ආර්ථික හා සමාජ පරිහානිය වැළැක්වීම සඳහා මත්පැන් සඳහා බලපත් ලබාදීම වහාම නැවැත්වීමට බලධාරීන් විසින් පියවර ගත යුතු බවත් පාසල් හා ආගමික මධ්‍යස්ථානවලට සැතපුම් භාගයක් දුරින් පිහිටි මද්‍යසාර අලෙවි මධ්‍යස්ථානවලට නිකුත් කර ඇති මත්පැන් අලෙවි බලපත් සියල්ල අවලංගු කළ යුතු බවයි.

කෙසේ වුවද මේ අතර පසුගිය වසර දෙක තුළ සුරාසැල් බලපත්‍ර 84ක් නිකුත් කර ඇති බවට චෝදනා නැඟෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස