සියලු ආගමික කටයුතු ආරම්භ කළත් සිකුරාදා ඉස්ලාම් පල්ලිවල දේව මෙහෙයන් තහනම්!

June 12, 2020 at 4:07 pm | by emanisa.lk

ඉස්ලාම් පල්ලිිිවල පස්වේලේ ඉමාම් ජමාත්, ජුම්මා සලාතය, නිකා මජරිස් ඇතුළු සිකුරාදා පැවැත්වෙන සාමූහික දේවමෙහෙයන් පැවැත්වීම නැවත දැනුම්දෙන තුරු තහනම් බව නිවේදනයක් නිකුත් කරමින් මුස්ලිම් ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ශී‍්‍ර ලංකා වකුෆ් සභාවේ නියමයන්ට අනුව මෙම තීරණය ගෙන ඇති බව මුස්ලිම් ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පනවා ඇති සෞඛ්‍ය සීමා සෞඛ්‍ය අංශ විසින් ලිහිල් කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා වකූෆ් සභාව විසින් මාර්ගෝපදේශයක් නිකුත් කරන බව ද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

සියලුම ඉස්ලාම් පල්ලිවල ආගමික කටයුතු සඳහා විවෘත කිරීමට පෙර එහි භාරකරුවන් අදාළ ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් ලිඛිත අවසරයක් ලබාගැනීම ද අනිවාර්යය කර තිබේ.

මේ අතර හින්දු කෝවිල්වල ආගමික කටයුතු ද සෞඛ්‍ය බලධාරීන් ලබාදුන් උපදෙස් අනුව අද සිට සෞඛ්‍ය සීමාවන්ට යටත්ව ආරම්භ කෙරෙන බව ජාතික හින්දු සම්මේලනයේ ලේකම් රාමචන්ද්‍රන් කුරුක්කල් බාබුශර්මා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස