මේක භයානක වසංගතයක්! බෞද්ධයන්ට පාංශුකූලය කතෝලිකයන්ට පල්ලිය වගේම මුස්ලිම් අයටත් ආගමික කටයුතු අහිමි වෙන්න පුළුවන්! – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

April 7, 2020 at 1:44 pm | by emanisa.lk

කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයින් භූමදානය කරනවාද ආදාහනය කරනවාද කියන එකට වඩා අපිට වැදගත් වන්නේ රෝගය පැතිරීම මැඩපැවැත්වීම සහ රෝගීන් සුවපත් කිරීම බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පවසයි.

ඔහු මේ බව පැවසුවේ කොරෝනා වෛරසය ලංකාවේ ව්‍යාප්තිය පිළිබඳ කළුතරදී මාධ්‍යයට අදහස් දක්වමිනි.

“මේ වෙලාවේ වැදගත් වන්නේ ආදාහනය හෝ භූමදානය නොවෙයි. වැදගත් වන්නේ මියයන ප‍්‍රමාණය අඩුකර ගැනීමයි. මියයන ප‍්‍රමාණය අඩුකරගන්න නම් රෝගය බෝවන ප‍්‍රමාණය අඩුකර ගත යුතුයි. සෞඛ්‍ය අංශ කටයුතු කරන්නේ ඒ මුලික අරමුණින්. යම් යම් දේශපාලන කණ්ඩායම් මේ වෙලාවේ ආදාහනයද භූමදානයද කියන කාරණය මේ රෝගයට ලඝු කරගෙන. මේ තත්වය යටතේ අපිට මේ නිවාරණ කටයුත්ත කරගෙන යන්න අපහසුයි.”

“නිරෝධායන පනත යටතේ නිසි බලධාරියා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් තුමා. එතුමා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබාදී ඇති නිර්නායකද සැලකිල්ලට ගනිමින් ජන මුලාශ‍්‍ර පිළිබඳ විශේෂඥයින් සම්බන්ධ කරගෙන තීරණයක් ගනීවි. භූමදානය කිරීමේදී ජන මුලාශ‍්‍ර පිළිබඳ සැලකිල්ලක් දක්වන්න ඕනෑ. ඒ සම්බන්ධ විශේෂඥ දැනුම ඇති අය ඉදිරියේදී සම්බන්ධ කරගෙන වැඩිදුර අධ්‍යයනය කිරීමෙන් පසු ස්ථිර ක්‍රියා මාර්ගයකට එන්න පුඵවන්. එතෙක් මේ අවස්ථාවේ ක්‍ෂණිකව ගතයුතු හොඳම ක්‍රියාමාර්ගය ආදාහනය කිරීමයි. ඉතා ඉහළ උෂ්ණත්වයක් යටතේ ආදාහනය කිරීමෙන් පවතින වෛරසය විනාශ වෙනවා.”

“ඇතැම් දේශපාලඥයින් මේ වෙලාවේ ජාතිවාදය ආගම්වාදය පටලවාගෙන. අපි එයාලට කියන්නේ ජාතිවාදය ආගම්වාදය පස්සේ බලාගන්න. දැනට සෞඛ්‍ය සේවාවන් අපහසුතාවයකින් තොරව කරගෙන යන්න සහයෝගය දෙන්න. රෝගය හැදෙන්න ජාතියක් ආගමක් නෑ. මරණයටත් ජාතියක් ආගමක් නෑ. මරණය ඉතා සංවේදී කාරණයක්. නමුත් මේ අවස්ථාවේ අපි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස් ලබාගෙන මාර්ග උපදේශ බලල රටට අනුගත ආකාරයෙන් කටයුතු කරන්නේ.”

“මේ නීතියට ජාතියක් ආගමක් කියා විශේෂත්වයක් දක්වන්න අමාරුයි. බෞද්ධයින්ට පාංශකූලය දෙන්න වෙන්නේ නැහැ. ක්‍රිස්තියානි බැතිමතුන් පල්ලියට ගෙනියන්න වෙන්නේ නැහැ. ඉස්ලාම් භක්තිකයින්ටත් එහෙමම තමයි. ඒ නිසා අපේ පළමු කාරණය රෝගය වළක්වා ගැනීම. ජාතිවාදය ආගම් වාදය පස්සේ බලාගන්න පුඵවන්. මේ වෙලාවේ ජාතිකුල ආගම් ගැන සොයමින් කටයුතු කරන්න අමාරුයි. දැනට සෞඛ්‍ය අංශ ජීවිත අවදානම ගැන නොතකා කටයුතු කරනවා. ඒ අයට සහයෝගය ලබාදිය යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස