සහරාන්ගේ සහාය ලැබුණේ මට නෙවෙයි, පාස්කු බෝම්බ කාරක සභාවේ හකීම්ටයි! – හිස්බුල්ලා

June 15, 2019 at 7:21 am | by emanisa.lk

පසුගියදා පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කමිටුව වෙත පැමිණි නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ප්‍රකාශ කළේ 2015 මහ මැතිවරණයේ දී ජාතික තවුහිද් ජමාත් සංවිධානය සහ එහි නායකයා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සහාය ලබා දුන් බව බවය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායකයා හිටපු ඇමති රවුෆ් හකීම් වන අතර ඔහු පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය සඳහා පත් කළ තේරීම් කමිටුවේ සාමාජිකයෙකි. මහ මැතිවරණයට නාම යෝජනා භාරදීමෙන් අනතුරුව සියලු ඡන්ද අපේක්ෂකයන් සහරාන් සිය කාර්යාලයට කැඳ වූ බවත් එහිදී ගිවිසුම්ගත වූ බවත් හිස්බුල්ලා හෙළි කළේය.

කෙසේ වුවද පසුව එම ගිවිසුම කඩ කළේ යැයි හිස්බුල්ලාට එරෙහිව සහරාන් කටයුතු කළ අතර ඒ නිසාම තමන්ගේ ඡන්ද 2000ක් පමණ මුස්ලිම් කොංග්‍රසයට ලැබුණු බවත් එහෙයින් ඡන්ද 120කින් තමන් පරාජයට පත් වූ බවත් හෙතෙම හෙළි කළේය. ජනාධිපතිවරණයේදී සහරාන්ගේ සහාය ලැබී තිබුණේ මෛත්‍රීපාල සිරිසේනට බව ද එහදී හෙළි විය.

මේ අනුව සහරාන් එල්ල කළ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය සඳහා පත්කළ කමිටුවේ මහ මැතිවරණයේදී ඔහුගේ සහාය ලැබුණු මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් සිටියි. එසේම මෙම ප්‍රහාරයේදී මරාගෙන මැරුණු ත්‍රස්තවාදීන් දෙදෙනෙකුගේ පියා වන මොහොමඩ් ඊබ්‍රහිම් එම මැතිවරණයට ජවිපෙ ජාතික ලැයිස්තුව ඔස්සේ තරඟ කළේය. ජවිපෙ නියෝජිතයකු ද එම කාරක සභාවේ සිටියි.

එහෙයින් මෙම කාරක සභාව පිළිබඳ හෝ එය ලබා දෙන තීන්දුවක් ජනතාව කිසිදු ආකාරයකින් විශ්වාස නොකරනු ඇති බවට දැනටමත් අදහස් පළ වී ඇත.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස