සජිත් අනුර වෙනුවෙන් ජයම්පති ලාල් ඇවිළෙයි! නව වාමාංශික පෙරමුණ දෙකට කැඩෙයි!

October 25, 2019 at 12:32 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්නගේ නායකත්වයෙන් යුතු එක්සත් වාමාංශික පෙරමුණ මෙවර ජනාධිපතිවරණයේදී දෙපාර්ශ්වයකට වෙන් වී තිබේ.

සැප්තැම්බර් මාසයේ පැවැති පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජාතික ජන බලවේගය සමග එක්ව කටයුතු කිරීමට තීරණය කර තිබිණි. කෙසේ වෙතත් එහි තවත් පිරිසක් එම තීරණයට දැඩිව විරෝධය පළ කළ අතර පසුගිය (24) නැවත මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවා තිබුණේ එම ගැටලු නිරාකරණය කර ගැනීම සඳහායි.

කෙසේ වෙතත් එහිදී පාර්ශ්ව දෙකක් විසින් යෝජනා දෙකක් ඉදිරිපත් වීමත් සමග එක්සත් වාමාංශික පෙරමුණේ බෙදීම සනිටුහන් වූ බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න විසින් හංසයා ලකුණින් ඉදිරිපත් වන අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම වෙනුවෙන් මේ මොහොතේ ක්‍රියාත්මක විය යුතු බවට යෝජනා කර තිබේ. එම යෝජනාවට විරෝධය දක්වමින් නීතිඥ ලාල් විජේනායක එක්සත් වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් තනතුරින්ද ඉල්ලා අස්වී ඇති බව ආරංචි මාර්ග පැවසීය.

මේ පිළිබඳ කළ විමසීමකදී නීතිඥ ලාල් විජේනායක පැවසුවේ තමන් පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වූ බවට පැතිර යන රාවයන් මුළුමනින්ම අසත්‍ය බවයි.

එහෙත් ජාතික ජන බලවේගය සමග ක්‍රියාත්මක වී 71 වසරක් රට පාලනය කළ කණ්ඩායම්වලට එරෙහිව විකල්ප බලයක් ගොඩනැගීමේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට ආචාර්ය ජයම්පති වික්‍රමරත්න කටයුතු කරමින් සිටින බවට ඔහු චෝදනා කළේය.

ජාතික ජන බලවේගය යනු දීර්ඝ කාලීන දේශපාලන වැඩපිළිවෙළක් බවද අවධාරණය කළ ලාල් විජේනායක පෙන්වා දෙන්නේ මෙම වැඩපිළිවෙළට වසරක සිට දායකත්වය ලබාදුන් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න හදිසියේම හංසයා ලකුණින් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයාගේ ජය තහවුරු කළ යුතු බවට යෝජනා කිරීම බලවත් සැකයට තුඩු දෙන කාරණයක් වූ බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස