ශ්‍රී ලංකාව ඇමරිකාවේ වහල් රාජ්‍යයක් නෙමේ! අපේ හමුදාපති පත්කිරීම පිළිබඳ කතා කරන්න ඔවුන්ට අයිතියක් නෑ! – විමල්

August 20, 2019 at 11:37 am | by emanisa.lk

මානව හිමිකම් කවුන්සිලය අශූචි වළක් යැයි පවසා ඉන් ඉවත් වූ ඇමරිකා එක්සත් ජනපදයට එම මානව හිමිකම් කවුන්සිලය ස්වාභාවික යුක්තියට පටහැනිව ඉදිරිපත් කළ චෝදනා උපුටා දැක්වීමට කිසිදු අයිතියක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි. ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති කාර්යාලය මගින් මෙරට යුද හමුදාපතිවරයා පත්කිරීමට එරෙහිව නිවේදනයක් නිකුත් කිරීමට එරෙහිව නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසයි.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

අද දින ට්විටර් පණිවිඩයක් මගින් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය වන ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය විසින් ශ්‍රී ලංකා රජයේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසමින් ප්‍රකාශයක් නිකුත්කොට ඇත. එම ප්‍රකාශය අනුව ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීම මගින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව අපකීර්තියට පත් වේ. එයට හේතුව ලෙස ඇය කියා සිටින්නේ නව හමුදාපතිවරයාට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව චෝදනා එල්ල කොට තිබීමය.

ඇය විසින් තම රාජ්‍යතාන්ත්‍රික සීමා නොසලකා හරිමින් සහ වියානා සම්මුතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් තම වහල් රාජ්‍යයක ආණ්ඩුකාරවරයාට නියෝග පනවන ආකාරයට සිදුකළ මෙම ප්‍රකාශය පිළිබදව අප දැඩි විරෝධය ඇය වෙත ප්‍රකාශ කරන අතර පහත සඳහන් කරුණු ඇයට මතක් කර දීමට කැමැත්තෙමු.

2015 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, ශ්‍රී ලංකාවේ හමුදාවට සහ එහි නායකයන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරමින් ඉදිරිපත් කළ OISL වාර්තාවට ප්‍රතිචාර දැක්වීමට හෙවත් චෝදනාවලට පිළිතුරු බැඳීමට ශ්‍රී ලංකාවේ රජයට සහ හමුදාවට පමණක් නොව එම ක්‍රියාවලිය පිළිබඳව කතා කිරීමට සෙසු රටවලට ද අවස්ථාවක් ලබා නොදුනි. ඊට හේතුව වූයේ ආචාර ධර්ම සහ ස්වාභාවික යුක්තියට පිටුපාමින් ඇමරිකා එක්සත් ජනපදය විසින් බලපෑම් එල්ල කිරීම ය.

ඉන් පසුව මානව හිමිකම් සමුළුව ‘අසූචි වලක්’ ලෙස හඳුන්වමින් එම ආයතනයෙන් ඉවත් වූ ඇමරිකා එක්සත් ජනපදයට එම ආයතනය විසින් ස්වාභාවික යුක්තියට පිටින් ඉදිරිපත් කළ චෝදනා උපුටා දැක්වීමට අද කිසිදු සදාචාරාත්මක අයිතියක් ද නැත.

විමල් වීරවංශ(පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2019.08.19

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස