ලේක්හවුසියේ කිසිවකු මධුකට පහර දුන්නේ නෑ! ජීවිත තර්ජන පෙන්වා රට පනින්න බොරු කියනවා! – ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති

December 12, 2019 at 8:12 am | by emanisa.lk

ලේක්හවුස්හි දී මධුක තතක්සල ප්‍රනාන්දුට පහර දී මරණ තර්ජන සිදුකළ බවට සිදුකළ පැමිණිල්ලේ කිසිදු සත්‍යතාවක් නොමැති බව ලේක්හවුස් ආයතනයේ වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති චන්දන බණ්ඩාර නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ලේක්හවුස් ආයතනයේ වර්තමාන ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට එරෙහිව මඩ වීඩියෝ සැකසීමේ මධ්‍යස්ථානයක් පවත්වා ගෙන ගිය මෙම පුද්ගලයා විදෙස් රටක පුරවැසිභාවය ලබා ගැනීම සඳහා මෙවැනි අභූත චෝදනා නඟන බව සඳහන් කරයි. එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

ලේක්හවුස් නව මාධ්‍ය අංශයේ සේවයේ නියුතු මධුක තක්සල ප්‍රනාන්දු මහතාට ලේක්හවුස් ප්‍රගතිශීලී සේවක සංගමයේ සාමාජිකයන් පිරිසක් තර්ජනය කළ බවට සහ පහර දුන් බවට අසත්‍ය පැමිණිල්ලක් කොටුව පොලීසියට ඉදිරිපත් කර තිබේ.

මධුක තක්සල ප්‍රනාන්දු යනු පසුගිය කාලය පුරා ජනාධිපතිවරණයට පෙර සහ පසුව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව මඩ වීඩියෝ පට සකසමින් යු ටියුබ් මගින් මාධ්‍යවේදියා නම් චැනලය ඔස්සේ ප්‍රචාරය කරමින් කටයුතු කළ අයෙකි. ඔහු විසින් ලේක්හවුස් ආයතනයේ නව මාධ්‍ය අංශයේ සම්පත් භාවිතා කරමින් මෙලෙස මඩ වීඩියෝ පට සකසා ඇති බවට සැක මතුව තිබේ. ඔහු තම මුහුණු පොත මගින් ඉතා නිර්දය ලෙස වත්මන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමාට අසත්‍ය චෝදනා නැගූවෙකි.

පොදුජන පෙරමුණට සම්බන්ධ අප වෘත්තීය සමිති සාමාජිකයකුට ඔහු විසින් පසුගිය අගහරුවාදා මඩ වීඩියෝ පටයක් සකසමින් සිටින බවට ලද තොරතුරක් මත ඒ සම්බන්ධයෙන් අප සාමාජිකයන් ඔහුගෙන් තොරතුරු විමසා තිබේ. එම තොරතුරු විමසීම පදනම් කරගෙන ඔහුට තර්ජනය කළ බවටත් පහර දුන් බවටත් අසත්‍ය පැමිණිල්ලක් කොටුව පොලීසියට ඉදිරිපත් කර තිබේ.

ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපතිවරයා වන මා වසර 17 කට ආසන්න කාලයක් වෘත්තීය මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන්නෙකි. මාධ්‍ය වෘත්තිකයන්ට ගරු කරන්නෙක් ලෙස මා කිසිදු විටක මාධ්‍යවේදියෙකුට පහර දීමට හෝ තර්ජනය කිරීමට අනුබල දෙන්නේ නැත. සත්‍ය ලෙසම අප වෘත්තීය සමිතියේ කිසිදු සාමාජිකයකු ඔහුට තර්ජනය කිරීමක් හෝ පහර දීමක් සිදු නොකළ බව ඔහුගේ හෘද සාක්ෂිය සාක්ෂි දරණු ඇත.

ලේක්හවුස් ආයතනයේ වැඩිම සාමාජික සංඛ්‍යාවක් හිමි පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිතිය 2019 ජනාධිපතිවරණය ජයග්‍රහණයට පසුව මේ දක්වා ලේක්හවුස් ආයතනයේ කිසිදු එක්සත් ජාතික පක්ෂයේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකුට වචනයකින් හෝ සිත් රිදිමක් සිදු කර නැත. ඒ සදහා ලේක්හවුස් ජාතික සේවක සංගමයේ නිලධාරීන් සහ සාමාජිකයන් සාක්ෂි දරණු ඇත. එවැනි පසුබිමකදී මධුක තක්සල වැන්නකුට තර්ජනය කිරීමට හෝ පහර දීමට අපට අවශ්‍යතාවක් නැත.

මෙරට පසුගිය දේශපාලන පෙරළිවලට පසු විදෙස් රටවල දේශපාලන රැකවරණ ලබා ගැනීමට ඇතැම් ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් තමන්ට පහර දුන් බවට පොලීසිවලට පැමිණිලි ඉදිරිපත් කර විදෙස් ගත වු අවස්ථා අප දැක ඇත්තෙමු.

මධුක තක්සලගේ උත්සාහයද එවැන්නක් දැයි සැකයක් මතු වේ. ඔහු විසින් මේ සදහා ලබා ගන්නා මාධ්‍ය ප්‍රචාරයන් දෙස අවධානය යොමු කිරීමේදී ඔහුගේ උත්සාහය පැහැදිලි වනු ඇත.

එබැවින් මාධ්‍ය ක්ෂේත්‍රයේ එතරම් අද්දැකීම් නොමැති කම නිසා මධුක තක්සල ප්‍රනාන්දු විසින් මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් ගෙන යන්නේ දැයි සැකයක් මතුවේ.

ස්තුතියි.
මීට
සභාපති,

චන්දන බණ්ඩාර
වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමය
ලේක්හවුස්

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස