රාජපක්ෂලා රජ කරවන්න අටවගත් පොහොට්ටුව ප්‍රජාතන්ත්‍රවාදය හයිජැක් කරලා…! පොහොට්ටු කල්ලිය පරාජය කිරීම යුගයේ ප්‍රජාතන්ත්‍රවාදී අවශ්‍යතාවයි…!

October 18, 2022 at 9:19 am | by emanisa.lk

මේ මොහොතේ පොහොට්ටුව මුහුණ දෙන ජනතා විරෝධය තේරුම් ගන්න කලින් මුලින් ම පොහොට්ටුව කියන්නේ මොකක්ද කියලා තේරුම් කර ගත යුතුයි. පොහොට්ටුව හෙවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ‘දේශපාලන පක්ෂයක්’ විදියට තේරුම් ගන්න උත්සාහ කිරීම ඇතුළේ ම විශාල අවුලක් තියෙනවා.

ඇත්තට ම පොහොට්ටුව කියලා කියන්නේ දේශපාලන පක්ෂයකට වඩා රාජපක්ෂ පවුල බලයට පත් කරවීම වෙනුවෙන් සංවිධානගත කරලා තියෙන කල්ලියක්. මේ කල්ලියට දේශපාලන පක්ෂයක් සඳහා අවශ්‍ය ලියාපදිංචිය තියෙනවා. සංවිධාන යාන්ත්‍රණය තියෙනවා. වෘත්තීය සමිති, තරුණ සංවිධාන තියෙනවා. ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධ දත්ත ගබඩාවක් තියෙනවා.

ඒත් සාමාන්‍යයෙන් දේශපාලන පක්ෂයකට අවශ්‍ය කරන මතවාදයක්වත්, දැක්මක්වත්, වටිනාකම් සමූහයක්වත් පොහොට්ටුවට නැහැ. පොහොට්ටුවේ මතවාදය ඒ ඒ වෙලාවට රාජපක්ෂ ව්‍යාපෘතිය බලයට ගෙන ඒම සඳහා අවශ්‍ය කරන මතවාදයයි. වෙලාවකට ඒක අන්ත ජාතිකවාදය ( ultra-nationalism) හෝ ආගම්වාදය වෙන්න පුළුවන්. වෙලාවකට ඒක වාමාංශික සටන් පාඨවලින් හදාගත් මතවාදයක් වෙන්න පුළුවන්. වෙලාවකට ඒක ලිබරල් ප්‍රතිසංස්කරණ වෙන්න පුළුවන්.

මේ කිසිම එකකට විශේෂ බැඳියාවක් පොහොට්ටුවට නැහැ. ඔවුන්ට වැදගත් රාජපක්ෂ පවුල බලයට ගෙන ඒම හෝ රාජපක්ෂ පවුලේ බලය පවත්වා ගැනීම සඳහා ඒ වෙලාවට තෝරගන්න මතවාදයේ තියෙන උපයෝගීතාව විතරයි. හිඟන්නෙකු කුණු බාල්දියක් අවුස්සා එදා දවස ගෙවාගැනීමට අවශ්‍ය කරන කෑම ටික සොයාගන්නවා වගේ පොහොට්ටුව එදා දවසේ රාජපක්ෂ ව්‍යාපෘතිය ජීවත් කරවීම සඳහා අවශ්‍ය සටන් පාඨ ටික කොහෙන් හෝ සොයාගන්නවා.

කාලයක් තිස්සේ රනිල්ට බැඳුම්කර හොරා, බටලන්ද වධකයා කියලා දේශපාලන වේදිකාවල පහර දීලා දවස් දෙක තුනක් ඇතුළත රනිල්ව ‘අපේ ජනාධිපතිතුමා’ කරගන්න පොහොට්ටුවට පුළුවන් වුණේ ඒකයි. යම්කිසි නිශ්චිත මතවාදයක් මත විශ්වාසය තියන, වටිනාකම් සමූහයක් පිළිගන්න පක්ෂයකට සාමාන්‍යයෙන් ඒ තරම් කෙටි කාලයක් තුළ ඒ තරම් විශාල කරණමක් ගහන්නට බැහැ.

ඒත් මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් වෙනුවෙන් එකතු වෙච්ච කල්ලියකට කිසි ප්‍රශ්නයක් නැතුව එහෙම දෙයක් කරන්න පුළුවන්. ලංකාවේ දැනට සිටින හුඟක් දේශපාලන නායකයන් කැමතිත් පක්ෂ නොව, තමන් වටා මේ විදියේ කල්ලි පිහිටුවන්නයි.

සජිත් වුණත් සමගි ජන බලවේගය පක්ෂයක් නොවී තමන් බලයට පැමිණිම කියන ප්‍රොජෙක්ට් එක වටා සංවිධානගත වුණු කල්ලියක් බවට පත් කරගන්න ආසාවෙන් ඉන්නවා වෙන්න පුළුවන්. ඒත් සජිත්ට ඒක සාර්ථකව කරගන්න අවශ්‍ය කරන දක්ෂකමවත්, charisma එකවත් නැහැ.

පොහොට්ටුව කියන්නේ ඇත්තට ම දේශපාලන පක්ෂයක් මේ තරම් විශාල කඩාවැටීමකට පසු, ඒ කඩාවැටීමේ ප්‍රධාන පංගුකාරයෙකු වන රාජපක්ෂලාගේ දේශපාලන ව්‍යාපෘතිය අතහැර දමනවා. පක්ෂය තුළ ම ස්වයං-විවේචනයක් සිදු කොට තමන්ගේ වැරදි නිවැරදි කරගන්නවා. පක්ෂය පිරිසිදු කරගෙන අලුත් පිරිසක් සමග අලුත් ගමනක් ආරම්භ කරනවා.

ඒත් පොහොට්ටුවට ඒ කිසි දෙයක් කරන්න බැරි රාජපක්ෂ ව්‍යාපෘතිය අතහැර දැමූ පසුව පොහොට්ටුවට පවතින්න හේතුවක් නැතිවන නිසයි. රාජපක්ෂලා නැති සැලසුම් පොහොට්ටුවට නැහැ. රාජපක්ෂලා නැති දේශපාලනයක් පොහොට්ටුවට නැහැ.

මේ නිසා ම රාජපක්ෂලාට එරෙහිව මෙතරම් ජනතා විරෝධයක් එල්ල වෙන වෙලාවකත්, ජනතාව පාරට බැස උද්ඝෝෂණ කරන වෙලාවකත් මහින්දගේ දේශපාලන පංචස්කන්ධය ඔසවා ගෙන තැනින් තැන ගොස් රැස්වීම් පවත්වන්නට පොහොට්ටුවට සිදු වී තිබෙනවා.

කොටින් ම මහින්දට ගෙදර යන්නට ඕනෑ වුණත් ගෙදර යන්නට මේක ඇතුළේ ඉඩක් නැහැ. මහින්දව රෝද පුටුවේ තියාගෙන හෝ වේදිකාව උඩට වඩම්මන්නට මේ කල්ලිය කටයුතු කරනවා. නාමල් හෝ වෙනත් කවුරුන් හෝ කෙනෙකුට පිට්ටනිය වෙනකල් මහින්ද සේලයින් බෝතලය ගසාගෙන හෝ වේදිකාවේ සිටිය යුතුයි.

මේක විශාල අවාසනාවක්. ඒ වගේ ම, ලංකාවේ කිසියම් ශක්තිමත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ධාරාවක් සඳහා තියෙන ඉඩ මෙහෙම පවුලක් වටා සංවිධානගත වුණු කල්ලියක් විසින් හයිජැක් කොට තිබීම විශාල අවුලක්.

මේ ‘කල්ලිය’ මේ වෙලාවේ දේශපාලනිකව පැරදවීම ප්‍රමුඛත ම අවශ්‍යතාවක් වන්නේ ඒ නිසයි. ඒක ඒ කල්ලියට පිටතින් සිටින අය විතරක් නෙවෙයි, එම කල්ලිය තුළ ම සිරකරුවන් වී සිටින අයත් කළ යුතු දෙයක්.

රසික ජයකොඩි
17 – 10 – 2022

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස