22 වෙනි සංශෝධනය කොට උඩ..! පොහොට්ටුවේ සහයත් නෑ…!

October 5, 2022 at 11:16 am | by emanisa.lk

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුවේ මත ගැටුමක් නිර්මාණය වී ඇති අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඊට සහාය නොදැක්වීමේ ස්ථාවරයක සිටින බව වාර්තා වේ.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පෙරේදා (03) රාත්‍රී පැවැති අතර, විසි දෙවැනි ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එහි දී විරෝධය පළ කර ඇතැයි දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක, ආචාර්ය සරත් වීරසේකර, සිසිර ජයකොඩි ඇතුළු පිරිසක් විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් අදහස් දක්වා ඇතැයි දැනගන්නට තිබේ.

විසි දෙවැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කරන්නේ පක්ෂය තුළවත් සාකච්ඡා නොකර බව පවසා ඇති එම මන්ත්‍රීවරුන් මෙය කාගේ වුවමනාවට ගෙන එන්නේ ද යන්න ගැටලුවක් බව සඳහන් කර ඇත.

දහ නවවැනි ව්‍යවස්ථා සංශෝධනයටත්, විසිවැනි සංශෝධනයටත් සහාය දුන් මන්ත්‍රීවරුන්ට රෙද්දක් ඇඳගෙන විසි දෙවැනි සංශෝධනයට ඡන්දය දිය හැකි දැයි සාගර කාරියවසම් ප්‍රශ්න කර ඇත.

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසි ගණනක් තමාට දුරකථනයෙන් කතා කර, විසි දෙවැනි සංශෝධනයට විරුද්ධව ඡන්දය දෙන බව ප්‍රකාශ කර ඇතැයි සාගර කාරියවසම් එහි දී ප්‍රකාශ කර ඇත. එහි දී අදහස් දක්වා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක ජනාධිපතිවරයා සතු විධායක බලය අත් නොහැරිය යුතු බව සඳහන් කර ඇත. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස 89 භීෂණයට මුහුණ දුන්නෙත්, මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් කළේත් පසුගියදා ඇති වූ ගැටුම්වලදී පාරලිමේන්තුව බේරාගත්තේත් ජනාධිපතිවරයා සතු විධායක බලය තිබුණු නිසා බව ද ඔහු සඳහන් කර ඇත. එබැවින් විධායක බලය ඉවත් කෙරෙන සංශෝධනයට සහාය දිය නොහැකි බව ඔහු පෙන්වා දී ඇතැයි වාර්තා වේ.

මේ අතර අදහස් දක්වා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර ආණ්ඩුකාරවරුන් සතු බලතල, පළාත් සභාවල බලතල එසේ තිබිය දී ජනාධිපතිවරයා සතු බලතල අඩු කිරීම ගැටලුවක් බව සඳහන් කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ =එහි දී අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ, විජයදාස රාජපක්ෂට මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් දැනුම්වත් කරන ලෙස ය.

එහිදී අදහස් දක්වා ඇති ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ සඳහන් කර ඇත්තේ, මෙය තමා ඉදිරිපත් කළ ද මෙය සකස් කළේ තමාගේ උවමනාට නොව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ද අදහසකට අනුව බවය.

විසි දෙවැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු බව ද ඔහු සඳහන් කර ඇත.
මේ සම්බන්ධයෙන් ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ විශේෂ වැඩමුළුවක් පාර්ලිමේන්තුවේදී අද (05) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.

මේ අතර 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ විවාදය හෙට(06) සහ අනිද්දා (07) පාර්ලිමේන්තුවේ දී පැවැත්වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස