21 එක්ක ම රනිල් පන්නයි…! නව අගමැති පොහොට්ටුවෙන්…!

May 29, 2022 at 3:40 pm | by emanisa.lk

විසි එක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අගමැතිවරයකු පත්කර ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ දී මෙම සාකච්ඡා පවත්වා ඇත. මේ අනුව විසි එක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම තුළ බෙදීමක් ඇති වී තිබේ. එක් පාර්ශ්වයක් ප්‍රකාශ කරන්නේ ජනාධිපතිවරයා ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරමින් මැතිවරණයට ඉදිරිපත්ව ආදර්ශයක් සපයා ඇති බවයි. එම නිසා ජනාධිපති බලතල අඩු කරමින්, කොමිෂන් සභා ස්ථාපිත කරමින් විසි එක්වැනි සංශෝධනයට සහයෝගය ලබා දිය යුතු බව එම පාර්ශ්වය පෙන්වා දෙයි.

එහෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ප්‍රකාශ කරන්නේ මේ මොහොතේ අවශ්‍ය විසි එක් වැනි සංශෝධනය නොව ජනතා ප්‍රශ්න විසඳීම බවයි. විසි එක්වැනි සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පසුගිය බ්‍රහස්පතින්දා (26) කැඳවූ රැස්වීමකට මන්ත්‍රීවරු සහභාගි වී ඇත්තේ විසි එකකි. එහි දී විසි එක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යෝජනාව පරාජය කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇත.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද හෙට (30) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් කැඳවා ඇත. එදිනද විසි එක් වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන මන්ත්‍රීවරුන්ගේ අදහස විමසීමට ජනාධිපතිවරයා සූදානම්ව සිටියි. එදින පැවැත්වෙන ඇමැති මණ්ඩල රැස්වීමේදී ද මේ පිළිබඳ යළි සාකච්ඡා කිරීමට නියමිතය.

අරුණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *