රසායනික ගොවිතැන රටට ම කරුමයක්….! ඉන් මිදෙන මඟ කාබනික ගොවිතැනයි….! ජනපති තීන්දුව අති විශිෂ්ටයි…! – මහාචාර්ය මාලා අමරසිංහ….

May 4, 2021 at 9:31 am | by emanisalk

කෘෂිරසායන නොමැතිව ගොවිතැන් කිරීමට නොදන්නා ගොවියන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවක් ඇති ශ්‍රි ලංකාවේ ජනාධිපතිතුමා කෘෂිරසායන ආනයනය නවත්වා කාබනික ගොවිතැනින් ආහාර නිපදවීමට ගත් තීරණයත් ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබීමත් ආශ්චර්‍යයකි, සැනසීමකි.

මෙවන් අභියෝගාත්මක තීරණයක් ගැනීම පිළිබඳව එතුමා හට ප්‍රශංසා කරන අතරම එයින් බලාපොරොත්තුවන ප්‍රථිපල ළඟා කර ගැනීමේදී සැලකිල්ලට ගැනීමට සුදුසු කරුණු කිහිපයකට අවධානය යොමු කිරීම මෙම ලිපියේ අරමුණයි.

පොහොර යනු ශාක/ බෝග වැඩීමට අවශ්‍ය පෝෂක ද්‍රව්‍යයයි. ඒවා නිපදවෙන්නෙ පසෙහි වසන ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියකරීත්වයෙන් ශාක සහ සතුන් විසින් නිපදවන කාබනික ද්‍රව්‍ය වියෝජනය කිරීමෙනි. පසක් සරු වීමට නම් එහි ක්ෂුද්‍ර ජීවීන් සහ කාබනික ද්‍රව්‍ය තිබිය යුතුමය. මෙම පෝශක චක්‍රීයකරණ පෘථිවිය මත ජීවය පවත්වා ගැනීමට නැතුවම බැරි ස්වභාවික ක්‍රියාවලියකි. වනාන්තරයක ඇති ගස් වැල් හොඳින් වැඩෙන්නේ මෙම ක්‍රියවලිය එහි මැනැවින් සිදු වීම නිසා මිස පිටින් පොහොර යෙදීම නිස නොවේ.

කෘෂිකර්මන්තයෙහිදී කරනුයේ ආහාරයට ගත හැකි කොටස් (ඵල, බීජ, මුල්, භූගත කදන්, පත්‍ර) සහිත තෝරා ගත් ශාක සුදුසු තැනක වගා කිරීමය. වැඩි අස්වැන්නක් ලබා ගැනීම පිණිස පසෙහි ස්වභවිකව ඇති පෝෂකවලට අමතරව වෙනත් ප්‍රභවයන්ගෙන් ලබා ගන්න පෝෂක හෙවත් පොහොර යෙදීමද සිදු කැරේ. “හරිත විප්ලවය” ලෙස නම් කෙරුනු, පසෙහි ඇති පෝෂක ලබා ගැනීමේ හැකියාව වැඩි බීජ සහිත තිරිගු, වී සහ ඉරිගු ප්‍රභේද දෙමුහුම්කරනයෙන් නිපදවීම 1960 දෂකයේදී සිදුවීමත් ඵ්වා ලොව පුරා ගොවියන් අතර ප්‍රචලිත කිරීමත් සමග ආහාර නිෂ්පාදනය තුන් ගුණයකින් වැඩි වූවා සේම, ස්වභාවික ලෙස පසෙහි නිපදවූ පෝෂක ඵ් සඳහා ප්‍රමාණවත්ව නොවීම නිසා කෘත්‍රිමව රසායනික පොහොර නිපදවීමට සිදුවිය.

පලිබෝධකයන් හට ඔරොත්තු දීමේ හැකියාව අඩු නිසා පලිබෝධ නාශක විෂ රසායන භාවිතයත් අත්‍යවශ්‍ය වේ. එපමණක්ද නොවේ, මෙම භෝගයනට වල් පැළ සමග තරග කිරීමේ හැකියාවද දුර්වලය. ඒ මෙම ශාකයන් උසින් අඩු වීමත්, එතරම් ශක්තිමත් නොවූ මුල් පද්ධතියක් සහිත වීම නිසාය. වල් නාශක භාවිතයද නොකරාම බැරි වන්නේ මේ නිසාය.

“හරිත විප්ලවයට” කලින් වගා කළ භෝග මෙන් නොව, මෙම දෙමුහුම් භෝග වගාව සඳහා කෘෂිරසායනික ද්‍රව්‍ය ටොන් ගණනින් ආනයනය කිරීමට සිදුවීමත් දිනෙන් දින ඉහළ යන මිල අනුව ඩොලර් බිලියන ගණනින් විදේශ විනිමය වැයවීමත් පසුගිය දශක පහ පුරාම සිදු විය. කාලයත් සමග පලිබෝධකයන් සහ වල් පැළෑටි ඒවා නාශක රසායනයන්ට ප්‍රතිරෝධී වීම නිසා භාවිත කළ යුතු ප්‍රමාණයන් මෙන්ම අධික විෂ සහිත රසායන හඳුන්වා දීම නිසා පරිසරයට එකතු වන විෂ රසායන ප්‍රමාණය ද වැඩි විය.

හරිත විප්ලවයේ නිර්මතෘන් බලාපොරොත්තු වූ පරිදි දෙමුහුම් භෝග වගාවෙන් ආහාර සුලභ වීමත් ඵ් මගින් සිදුවන සාමය උදාවීමටත් වඩා අද අප මුහුණපා සිටින්නේ වස විසෙන් තොර ආහාර අහේනියකට සහ ඒ නිසා බිහිවී ඇති රෝගී ජන සමාජයක් සුවපත් කිරීමේ අභියෝගයටය.

මෙතෙක් පැවති රජයයන් මේ සඳහා නොයෙකුත් ක්‍රියා මාර්ගයන් ආරම්භ කළ ද මෙම අවාසනාවන්ත තත්ත්වයට කෙලින්ම බලපාන හේතූන් ඉවත් කිරීමට තරම් එඩිතර තීරණ ගැනීමට අපොහොසත් විය. රජරට ගොවියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වකුගඩු රෝගයෙන් මිය යාමට හේතුව කෘෂිරසායනවලින් දූෂිත වූ භූගත ජලය භාවිත කිරීම බවට කොතෙකුත් සාක්ෂි තිබිය දී භූගත ජලයෙහි ස්වභාවිකව පවතින ෆ්ලෝරය්ඩ් නිසා මොවුන් වකුගඩු රෝගයට ගොදුරු වන බව පෙන්වීමට අසාර්ථක ලෙස උත්සාහ කළ “වියතුන්” සිටිනා රටක රජයකට වඩා පහසුවෙන් කළ හැක්කේ ජලය පෙරීමට ෆිල්ටරයක් දීමත්, වකුගඩු රෝගීන්ගේ රුධිර පාරවිලයනයට පහසුකම් සැපයීමත් පමණි. ඵ් මගිනුත් වැඩි ලාභයක් ලැබුවේ කෘෂිරසායන ආනයනකරුවන්මය. ගෝටාභය රාජපක්ෂ ජනධිපතිතුමාගේ මෙම තීරණය මේ තරම් මේ රටට වටින්නේ ඒ නිසාය.

මෙරට වගා කරන ආහාර බෝග සඳහා වූ බීජවලින් 95% කටත් වඩා ආනයනය කළ දෙමුහුම් ඒවා සහ ජාන වෙනස් කළ ඵ්වා හෝ වැඩි දියුණු කළ දෙමුහුම් ඵ්වාය. බීජ ආනයනය සඳහා වාර්ෂිකව වැය කරන මුදල රුපියල් බිලියන දෙකකි. මෙම බීජ වගාකිරීමෙන් බීජ නිෂ්පාදකයින් සහතික කරන තරමේ අස්වැන්නක් ගැනීමට නම් කෘෂිරසායන යෙදිය යුතු වුවත් රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර, විශේෂයෙන්ම, කාබනික දියරක් ලෙස යොදා ගැනීමෙන් සැලකිය යුතු අස්වැන්නක් ලබා ගත හැකි බව නොරහසකි.

කෘෂිරසායන යොදා අක්කරයකට වී බුසල් 100 ක අස්වැන්නක් ලබාගත හැකි වැඩිදියුණු කළ දෙමුහුම් වී ප්‍රභේද කාබනික පොහොර යොදා වගා කිරීමෙන් අක්කරයකට බුසල් 60 ක අස්වැන්නක් දීමට සමත් වන බව වාර්තා වේ. ප්‍රශස්ථ වගා තත්ත්වයන් සැපයීම් තුළින් මෙම අස්වැන්න තවදුරටත් වැඩි කරගැනීමේ විභවයක් ඇත. වී සහ එලවළු වගාවන් සඳහා පත්‍රවල නයිට්‍රජන් අධිකව ඇති වල් සූරියකාන්ත, වැට මාර, කැප්පෙටියා වැනි ප්‍රාදේශීයව ලබා ගත හැකි නයිට්‍රජන් ප්‍රභවයකුත්, කුකුල් පොහොර, සත්ත්ව ඇටකටු වැනි ෆොස්ෆරස් ප්‍රභවයකුත් කාබනික ද්‍රව්‍ය දිරාපත් කිරීමට හැකි ක්ෂුද්‍ර ජීවීන් ප්‍රභවය ලෙස සත්ත්ව ගොම මෙන්ම, ගිබෙරිලික් අම්ලය වැනි වර්ධක හොමෝන අඩංගු අක්කපාන වැනි ශාක මේ සඳහා යොදා ගැනීමෙන් බෝග වර්ධනයට අත්‍යවශ්‍ය ක්ෂුද්‍ර පෝෂකද සහිත දියර පොහොරක් පහසුවෙන්ම සාදා ගත හැකිය.

මේ සඳහා අවශ්‍ය වන්නේ බැරල් කිහිපයක් හෝ සිමෙන්ති ටැන්කි සහ සුදුසු කොල වර්ග සොයා ගැනීමේ උවමනාවත් පමණි. මේ සඳහා සුදුසු පැළැටි සියල්ලම පාහේ නාගරික පරිසරවල හැර අනිකුත් ප්‍රදේශයන්හි කැලේට වැවෙන, ආර්ථික හෝ වෙනත් වටිනාකමක් නැති නිසා බොහෝ විට උදුරා විසිකරන ඒවාය. එවැනි ශාක මායිම් වැටවල, බඩවැටිවල, නියරවල, මාර්ග දෙපස හෝ ජල සීරාව ඇති ඕනෑම පසක ඉතා පහසුවෙන් වගා කළ හැකිය. එසේම මෙම ශාක වේගයෙන් වර්ධනය වී පත්‍ර නිපදවන නිසා කොල පොහොරවල හිඟයක් ඇති නොවේ.

දැනටත් මෙසේ දියර පොහොර නිපදවන කුඩා පරිමාණ ව්‍යවසායකයින් සිටියද ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රමිතිගත කිරීමේ යාන්ත්‍රනයක් අවශ්‍යය. රජයට මේ සඳහා මැදිහත් විය හැකිය. කාබනික් පොහොර නිෂ්පාදනය, ප්‍රමිතිකරණය සහ පර්යේෂණ වෙනුවෙන් අධිකාරියක් ඇති කර ඒ පිළිබඳ අත්දැකීම් සහ නිපුණතාවයන් ඇති අයගේ සේවය ඒ සඳහා ලබා ගතහැකිය. සමහර හිතකර දිලීර වර්ග කොම්පෝස්ට්වලට එකතු කිරීමෙන් පසට එකතුවන පෝෂක ප්‍රමාණයත් බෝග පලදාවත් වැඩිකරගත හැකි බව පර්යේෂණාත්මකව සනාථ කර ඇතත් මෙම දැණුම ප්‍රායෝගිකව භාවිත වන්නේ ඉතා සුලු වශයෙනි.

මෙවන් ක්‍රමවේදයන් වැඩි දියුණු කිරීමත් නව ක්‍රමවේදයන් සොයා ගැනීමත් දැනට සීමිත ගොවීන් පිරිසක් පමණක් භාවිත කරන සාර්ථක ක්‍රමවේද ප්‍රචලිත කිරීමත්, ඒවායේ භාවිතය දිරිමත් කිරීමත්, ඵ් සඳහා සහාය කරගත හැකි පිරිසකින් සමන්විත් කාර්‍ය සාධක බලකායක් නොපමාව ස්ථාපිත කර සුදුසු ව්‍යාපෘතීන් දියත් කිරීම මගින් සිදු කල හැකිය. දැනටත් කාබනික වගාවෙහි නිරත සීමිත ගොවියන් පිරිස ඵ් සඳහා යොදා ගන්නා දැනුම සහ ක්‍රමවේදයන් විවිධ වුවත් එමගින් සාර්ථක ප්‍රථිපල ලබා ගැනීමට හැකිවී ඇති නිසා ඵ්වා පිළිබඳව අධ්‍යයනය කර සුදුසු පරිදි සමාජගත කිරීම කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීම සඳහා රුකුලක් වේ.

දැනට අප දකින්නේ මෙම දැනුම් පද්ධතීන් කුඩා ගොවි කණ්ඩායම්වලට පමණක් සීමාවන අතර කණ්ඩායම් අතර දැනුම් හුවමාරුවක් සිදු නොවන තරම්ය. මේ සඳහා සාධාරණ හේතු සාධක තිබුණ ද මෙය හිතකර තත්ත්වයක් නොවේ. අප වෑයම් කළ යුත්තේ පොත පතින් හෝ බටහිරින් ලබා ගත්තාට වඩා මේ රටේ මහ පොළව, පරිසරය සහ පාරම්පරික දැනුම ගුරු තැනෙහිලා ලබා ගත් මෙම දැන උගත්කම් උපයෝගී කරගනිමින් රටේ යහපත උදෙසා උපරිම ප්‍රථිපල ලබා ගැනීමය. ඵ් සඳහා දේශපාලන අධිකාරියක මැදිහත්වීම අවශ්‍ය වන්නේ එය තනි තනිව හෝ කුඩා කණ්ඩායම්වලට කළ හැකි කාර්‍යයක් නොවන බැවිනි.

එසේ ම, අප දැඩිව සැලකිල්ලට ගත යුතු අනෙක් කරුණ වන්නේ කාබනික ගොවිතැනට සුදුසු බීජ නිෂ්පාදනයයි. දේශීය වී ප්‍රභේද වගාවෙන් දැනට ලැබෙන අස්වැන්න දිවයිනේ නිපදවන මුලු අස්වැන්නෙන් 1.22% තරම් සුලු ප්‍රමාණයක් වුවද, කාබනික පොහොර යොදා පලිබෝධ නාශක හෝ වල් නාශක නොමැතිව වගා කැරෙන මෙම වී ප්‍රභේදවලින් ලැබෙන අස්වැන්න සහ ලාභය නම් සුලුවෙන් සැලකිය නොහැකිය. ආනයනයනික දෙමුහුම් වී ප්‍රභේද රුපියල් 40,000ක කෘෂිරසායන යොදා අක්කරයකට බුසල් 100ක් ක අස්වැන්නක් ලබා දෙන විට රුපියල් 4000ක වියදමක් බීජ සහ දියර පොහොර වෙනුවෙන් දරා අවම ලෙස අක්කරයකට බුසල් 80ක අස්වැන්නක් දේශීය වී ප්‍රභේදවලින් ලබා ගත හැකිය.

වියලි කලාපයේ සමහර ප්‍රදේශවලින් බුසල් 150ක් තරම් ඉහළ අස්වැන්නක්ද වාර්තා වී ඇත. දැනටත් දේශීය වී ප්‍රභේද 400ක් පමණ දිවයිනේ නොයෙක් ප්‍රදේශයන්හි සුළු පරිමාණයෙන් වගා කැරෙන අතර විවිධ වූ පාංශු තත්ත්වයනට ඔරොත්තු දෙන වී ප්‍රභේද ඵ් අතර වේ. දේශීය වී ප්‍රභේද වගාවෙන් ලාභ ලැබිය නොහැකිය යන දුර්මතය නිසා බොහෝ ගොවීන් මේ සඳහා නොපෙළඹේ. කාබනික ගොවිතැන පිළිබඳව ඔවුනට ඇත්තේ සැකයකි. ඵ් පරම්පරා දෙකක් පුරාවට ඔවුන් කෘෂිරසායනවලින් තොර ගොවිතැනක් අත්දැක නැති නිසාත් හරිත විප්ලවයෙන් බිහිවූ රසායනික කෘෂිකර්මාන්තයට ගැති මෙරට වියතුන් ඵ් සඳහා ඔවුනට ඇති අවස්ථාවන් අහුරා තිබීමද නිසාය.

කාබනික ගොවිතැනින් ආහාර සුරක්ෂිතතාවයත් නිරෝගී සමාජයක් බිහිකිරීමත් මේ මහ පොළවේ යතාර්ථයක් කිරීමට නම් මේ පොළවට, පසට සුදුසු බීජ අප විසින්ම නිෂ්පාදනය කිරීම ආරම්භ කළ යුතුය. ඵ් සඳහා රටේ පසට, පරිසරයට, සරිලන, ජනයාගේ පෝෂණ සපුරාලිය හැකි අහාර පිළිබඳව සොයා බලා ආහාර විවිධත්වය වැඩි කිරීමටත්, එම බීජ නිෂ්පාදනය සඳහා රට පුරා බීජ ගොවිපොළවල් ඇතිකිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම මගින් ආනයනික බීජ නිෂ්පාදක බහු ජාතික සමාගම්වල මාෆියාවෙන් ගොවීන් බේරා ගෙන දැනට වඩා අඩු මිලකට ගොවියාට බීජ ලබා ගැනීමට අවස්ථාව සැලසීමත් සිදු කළ හැකිය.

එය හුදු හිතළුවක් ලෙස බැහැර නොකළ යුත්තේ ඉන්දියාව, කියුබාව වැනි රටවල සුළු පරිමාණ ගොවියන් පිහිටුවා ගෙන ඇති බීජ බැංකු සහ බීජ ගොවිපොළවල් මගින් දේශීය බීජ සංරක්ෂණයත් නිෂ්පාදනයත් ඉතා සාර්ථකව සිදු කළ හැකි බව සනාථ කර ඇති බැවිනි. දේශීය බීජවල ගුණාත්මක භාවය උසස් කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳ පර්යේෂණ සිදු කිරීම සඳහාත් දේශීය බීජ උපයෝගී කරගනිමින් වෙනස්වන විවිධ පාරිසරික තත්ත්වයනට ඔරොත්තුදෙන දෙමුහුම් බීජ නිෂ්පාදනයටත් විශේෂ අවධානය යොමුකිරීමෙන් ගෝලීය උණුසුම්වීමත් සමග ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ ඇතිවේයැයි බලාපොරොත්තු වන අහිතකර බලපැම් සඳහා ද විසඳුම් සොයා ගැනීමට රුකුලක් සැපයිය හැකිවේ.

හරිත විප්ලවයෙන් උරුම වූ රසායනික ගොවිතැන නම් කරුමයෙන් මිදී නිරෝගී රටක් සහ ජාතියක් බිහි කිරීමට ඇති එකම මග කෘෂිරසායනවලින් තොර ගොවිතැන බව පිළිනොගන්නෝ කුහකයෝය. ඒ සඳහා ඇති බාධක බොහෝ වුවත් ශ්‍රී ලංකා රජය එමගෙහි යාමට ගත් තීරණය අනභිභවනීයයි, ප්‍රශන්සනීයයි. ඵ් සඳහා හැකි පමණින් දායක වීම සෑම පුරවැසියකුගේම යුතුකමයි.

මහාචාර්ය මාලා අමරසිංහ
ශාක සහ අණුක ජීව විද්‍යා අධ්‍යනාංශය
කැලණිය විශ්වවිද්‍යාලය

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස