රසායනික පොහොර භාවිතය වැළැක්වීමට වඩා වැදගත් ආණ්ඩුවට විරුද්ධ වීමයි…! අපි රසායනික පොහොර තහනමටත් විරුද්ධයි…! – ජවිපෙ…

May 2, 2021 at 7:36 am | by emanisa.lk

ආණ්ඩුවේ මූල්‍ය අර්බුදය විසඳා ගැනීම සඳහා රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට රජය තැත්කරන්නේ නම් එයට තමන් විරුද්ධ වන බව ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න පවසයි.

එසේ වුවද රසායනික පොහොර භාවිතය වැළැක්වීම තම සංවිධානයේ මතය බව ඔහු සඳහන් කළේය. එම නිසා කාබනික පොහොරවලට සහ කාබනික වගාවට කිසි විටෙක විරුද්ධ නොවන බවත් ඊට පක්ෂව කටයුතු කරන බවත් ඔහු පැවසීය.

ආණ්ඩුව රසායනික පොහොර භාවිතය තහනම් කරන්නේ නම් ආණ්ඩුව කාබනික පොහොර භාවිතය සම්බන්ධව සැලැස්මක් ඉදිරිපත් කළයුතු යැයි ද හෙතෙම කීය. එසේ නොකර හදිස්සියේම මෙවන් තීරණයක් ගැනීම හරහා ගොවිජනතාව පීඩාවට පත්වන බවද ඔහු පැහැදිලි කළේය.

හදිස්සියේම පැමිණි මෙම පුවත හේතුවෙන් වර්තමානයේ උග්‍ර පොහොර හිඟයක් ඇතිවීම මෙන්ම පොහොර මිලද අධික ලෙස ඉහළ යෑමද සිදුව ඇතැයි නාමල් කරුණාරත්න මෙහිදී පැවසීය. එම නිසා ගොවියන් වික්ෂිප්ත බවට පත් කරන ආණ්ඩුවේ මෙම තීන්දුව සම්බන්ධව තමන්ට ගැටලුවක් ඇතැයිද ඔහු කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *