නැගෙනහිර පර්යන්තය විකුණන්නේ හෝ බදු දෙන්නේ නෑ…! ජනපතිගෙන් වෘත්තීය සමිති නියෝජිතයන්ට සහතිකයක්…

January 13, 2021 at 6:11 pm | by emanisa.lk

කොළඹ වරායේ, නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදු දීම හෝ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වරාය වෘත්තීය සමිති නියෝජිතයන්ට කියයි.

පසුගිය රජය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමට ගිවිස ගෙන තිබිණ. විකිණීමෙන් පසු ජපානයෙන් ණයක් ගැනීමත්, ණය මුදලින් ඉදිකිරීම් සඳහා වන උපකරණ මිල දී ගැනීමත් ගිවිසුමට ඇතුළත් විය. ගිවිසුම පිළිබඳව වත්මන් රජය ඉන්දියාව සමග කළ සාකච්ඡාවලින් පසු 51%ක අයිතිය සහ පර්යන්තයේ පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ තබා ගැනීමේ එකඟතාවට පැමිණීමට හැකි වූ බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

රට තුළ කෙරෙන ආයෝජන මගින් රටේ ස්වෛරීභාවයට හෝ ස්වාධීනත්වයට හෝ කිසිදු හානියක් වීමට තමා ඉඩ නොතබන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

වෘත්තීය සමිති කළ ඉල්ලීමට අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ ය.

පසුගිය රජය විසින් හම්බන්තොට වරාය 99 වසරකට චීන රජයට සම්පූර්ණයෙන් බදු දී තිබිණ. තමා බලයට පත්වීමෙන් පසු චීනය සමග සාකච්ඡා කර වරායට අයත් මුහුදු ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳ වගකීම රජය යටතට ගත් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

නැගෙනහිර පර්යන්ත සංවර්ධනය සැලසුම් කළේ කලාපීය භූ දේශපාලනික සාධක, රටේ ස්වෛරීභාවය, අදායම් සහ රැකියා උත්පාදනය ඇතුළු සියලු සාධක සමාලෝචනය කිරීමෙන් පසුව යැයි ජනාධිපතිතුමා සඳහන් කළේය. ආයෝජන වැඩසටහන යටතේ නැගෙනහිර පර්යන්තය “තිරසාර සංවර්ධනයකට” ලක් කරන බව ජනාධිපතිතුමා පැහැදිළි කළේය. නැගෙනහිර පර්යන්තය ප්‍රති-අපනයන මෙහෙයුම්වලින් 66%කට ඉන්දියාව දායක වෙයි. 9% බංග්ලාදේශයටත්, ඉතිරිය තවත් රටවල් කිහිපයකටත් කෙරෙන ප්‍රති-අපනයනයන්ය.

ශ්‍රී ලංකා රජයට 51% අයිතිය සහ ඉතිරි 49% ඉන්දීයාවේ “අදානි” සමාගමටත්, වෙනත් පාර්ශ්වයන්ටත් කොටස්කරුවන් වශයෙන් හවුල් විය හැකි ආයෝජනයක් ලෙස පර්යන්තය සංවර්ධනය කිරීම සැලසුම බව ජනාධිපතිතුමා පැවසීය.

ඒ ගැන කිසිදු සැකයක් තබා නොගන්නැයි කී ජනාධිපතිතුමා සියලු වෘත්තීය සමිති නියෝජිතයන් එක්ව මේ වැඩසටහන පිළිබඳව සිය යෝජනා සහ අදහස් ඉදිරිපත් කරන්නැයි සමිති ප්‍රධානීන්ට දැන්වීය. වරාය බටහිර පර්යන්තයේ මෙහෙයුම් වරාය අධිකාරියට පැවරීමට තමා අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිතුමා වරාය සංවර්ධනය සඳහා සැලසුම් ඉදිරිපත් කිරීමේ වැදගත්කම ද වෘත්තීය සමිති නියෝජිතයන්ට පෙන්වා දුන්නේය.

නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් පුළුල් කිරීමෙන් රැකියා අවස්ථා විශාල සංඛ්‍යාවක් උත්පාදනය කෙරෙන බව ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව පිටුදැකීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ කියා සිටියේය. පසුගිය රජය මත්තල ගුවන් තොටුපොළ සහ නොරොච්චෝලේ බලාගාරය විකිණීමට සකසා තිබූ සැලසුම් වත්මන් රජය මුළුමනින්ම නවතා දැමූ බව බැසිල් රාජපක්ෂ වැඩි දුරටත් පැවසීය.

වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, වරාය අමාත්‍යාංශයේ ලේකම්, වරාය සභාපති ඇතුළු නිලධාරීහූ සහ වෘත්තීය සමිති 23ක නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස