හම්බන්තොට වරාය විකුණූ අය නැවත පාර්ලිමේන්තුවට පත්කළ යුතු නෑ! – මහාචාර්ය ගුණරුවන්

July 29, 2020 at 12:26 pm | by emanisa.lk

අපේ රටේ ස්වාධීනත්වයට නිවහල්භාවයට අපි ගරු කරනවා නම් රටේ ජාතික සම්පත් රැකගැනීමට කටයුතු කළ යුතුයැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ යුතුකම ජාතික සංවිධානය ඊයේ (25) පානදුරේ සංවිධානය කළ “ශක්තිසම්පන්න රාජ්‍යයක්-අපේ ම ව්‍යවස්ථාවක් සඳහා වන යෝජනා” සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි.

“මහරජ, ඔබට මේ රටේ කිසිවක් අයිති නැත, ඔබ මේ රටේ තාවකාලික භාරකරුවා පමණි, ඔබේ වගකීම එය උරුමය අනාගත පරපුරට උරුම කිරීමයි.” කියලා මේ රටේ අලිඛිත ව්‍යවස්ථාවක් තියෙනවා. නමුත් පහුගිය කාලේ පාලකයන් මේ රටේ අයිතිකාරයෝ වගේ කටයුතු කළා. හම්බන්තොට වරාය, තිරිකුණාමල තෙල් ටැංකි, කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය විකුණා දැමුවා.

මේ මහා අපරාධය සඳහා අපි දැන්වත් තිත තැබිය යුතුයි. හම්බන්තොට වරාය විකිණු අය නැවත පාර්ලිමේන්තුවට පත් නොකළ යුතුයි. තිරිකුණාමල තෙල් ටැංකි විකිණු අය නැවත පාර්ලිමේන්තුවට පත් නොකළ යුතුයි. නැඟෙනහිර පර්යන්තය විකිණූ අය නැවත පාර්ලිමේන්තුවට පත් නොකළ යුතුයි. මේ සම්පත් විකිණූ අය, අත්සන් කළ විතරක් නෙමෙයි, ඒ කැබිනට් මණ්ඩලයේ හිටිත් ගෙදර යා යුතුයි.

අපේ රටේ භූගෝලීය පිහිටීම නිසා හැමදාම අපට විදෙස් බලපෑම්වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ සඳහා මුහුණදිය හැකි නව ව්‍යවස්ථාවක් අපි නිර්මාණය කරගත යුතුයි. ඒ සඳහා සමානුපාතික නියෝජන ක්‍රමයට වෙනුවට ආසනයට වග කියන නියෝජිතයකු පත් කර ගැනීමේ ක්‍රමවේදයක් අවශ්‍යයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස