ඉන්දියාවට දෙනවා නම් බටහිර පර්යන්තය දෙන්න! දිනකට ලක්ෂ 270ක් උපයන නැඟෙනහිර දෙන්න එපා! – වරාය වෘත්තීය සමිති…

December 5, 2020 at 11:15 am | by emanisa.lk

ඉන්දීය ආයෝජන ලබා ගෙන කොළඹ වරායේ නැ‍ඟෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමට රජය තීරණය කර ඇත්නම් දැනට ලාභදායී ලෙස පවත්වන ලද වරාය නැගෙනහිර පර්යන්තය වෙනුවට වරාය බටහිර පර්යන්තය ඉන්දියාවට පවරාදීම ගැන තමන්ගේ විරෝධයක් නැතැයි වරාය නැගෙනහිර පර්යන්තය සුරුකීමේ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සංජය කුමාර වැලිගම පවසයි.

මේ සම්බන්ධව වැඩිදුරටත් කරුණු දැක්වූ හෙතෙම කියා සිටියේ නැඟෙනහිර පර්යන්තයෙන් දිනකට රුපියල් මිලියන 27ක (ලක්ෂ 270) ආදායමක් ලැබෙන බවය. එම නිසා වරාය නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීම අවාසිසහගත ගනුදෙනුවක් බව ද ඔහු අවධාරණය කළේ ය.

වරාය නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට පවරාදීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වරාය වෘත්තීය සමිති කිහිප විටක්ම ජනාධිපතිවරයා, විෂය භාර අමාත්‍යවරයා සහ වරාය සභාපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබුණ ද මෙතෙක් ඒ සම්බන්ධව කිසිදු ප්‍රතිචාරයක් නොමැති බව ඔහු පැවසී ය.

ඉදිරි දින කිහිපය තුළද සාකච්ඡා සඳහා නිසි ප්‍රතිචාරයක් නො ලැබුණහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට පසුබට නොවන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස