රටේ කිසිම දේපළක් විකිණීම අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නෙමෙයි! – වරාය සේවක වර්ජනයට තිත තබමින් අගමැති මහින්ද කියයි…

August 3, 2020 at 9:39 am | by emanisa.lk

මෙරට කිසිම දේපළක් විදේශ රටකට විකිණීම තම රජයේ ප්‍රතිපත්තිය නොවන බව අගමැති මහින්ද රාජපක්ෂ වරාය සේවකයන් සමඟ ඊයේ (02) පැවසීමත් සමඟ ඉකුත් 23 වැනිදා සිට වරාය සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවීමටඑම වෘත්තීය සමිති තීරණය කළේය.

මෙම වෘත්තීය සමිති ඊයේ පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවෙසේ දී අගමැතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වූ අතර කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු විදේශ රටකට ලබා නොදෙන ලෙස ඉල්ලමින් ඔවුහු දින 10ක් පුරා වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබිණි.

කිසිම දේපළක් පිටරටට විකිණීමට රාජ්‍ය ප්‍රතිපත්තියට ඇතුළත් නොවන බවත් පසුගිය රජය ඇති කළ ගැටළු විසඳා ගැනීමට තම රජය කටයුතු කරන බවත් වෘත්තිය සමිති සමඟ පැවැති සාකච්ඡාවේදී මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර ඇත.

පසුගිය රජය එළැඹ ඇති ගිවිසුම්වලින් නිදහස් වීමට ගත යුතු සියලු ක්‍රියාමාර්ග රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පවා ගැනීමට කටයුතු කරන බවත් එවැනි අවස්ථාවක මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමෙන් වැළකී සහාය දෙන ලෙසත් වෘත්තීය සමිතිවලින් අගමැති රාජපක්ෂ ඉල්ලීමක් සිදු කර ඇත.

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තයේ කටයුතු සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් මේ වනතෙක් පැමිණ නැති බවත් එවැනි දෙයක් පැමිණියහොත් ඒ අවස්ථාවේ සාකච්ඡා කිරීම සුදුසු බවත් මහින්ද රාජපක්ෂ වෘත්තීය සමිති සමඟ ප්‍රකාශ කර ඇති අතර මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවකදී මෙන්ම රටේ දරුණු තත්ත්වයක් පවතින අවස්ථාවකදී මෙවැනි වැඩවර්ජනවල නියැලීම සුදුසු නොවන බවද පෙන්වා දී ඇත.

වරාය නැඟෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් උද්ගත වී ඇති ගැටලුවක් මුල් කරගනිමින් වරාය වෘත්තීය සමිති 23ක් පසුගිය සිකුරාදා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබූ අතර ඒ අනුව පැවැති වෘත්තිය ක්‍රියාමාර්ගය ඊයේ (02) සිට නවතා දැමීමට ඔවුන් තීරණය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස