නව ව්‍යවස්ථාවට කලින් පළාත් සභා ඡන්ද පැවැත්වීමේ සූදානමක්! පනත සංශෝධනය කර මැතිවරණය පැරණි ක්‍රමයට!

August 30, 2020 at 9:14 am | by emanisa.lk

පළාත් සභා මැතිවරණය පැරණි සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේම පැවැත්වීම සඳහා ළඟදීම පළාත් සභා මැතිවරණ පනතට සංශෝධනයක් සිදුකරනු ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග කියයි.

පසුගිය රජය සමයේ පළාත් සභා ඡන්ද කොට්ඨාස ක්‍රමයට පැවැත්වීම සඳහා නීති සම්මත කෙරිණි. එහෙත් එහි කොට්ඨාස සීමා නිර්ණය සම්බන්ධයෙන් හටගත් ගැටලු නිසා නැවතත් සීමා නිර්ණය සමාලෝචනයට ලක්කැරිණි. ඒ සමඟ පළාත් සභා මැතිවරණ දිගින් දිගටම කල් දමනු ලැබීය.

පළාත් සභා සඳහා මන්ත්‍රීන් තෝරාගැනීමේ ක්‍රමවේදයද දැඩි විවේචනයට ලක්විය. එම සභිකයන්ගෙන් 50% ඡන්දයෙන්ද 50% ලැයිස්තුවෙන්ද තෝරාගත යුතු යැයි යහපාලන රජය සම්මත කරගත් නීතියේ සඳහන්ය. එහෙත් එම ක්‍රමවේදය ගැන වත්මන් රජයේ එකඟතාවක් නැතැයි වාර්තාවෙයි.

මෙම අර්බුදකාරී තත්ත්වය නිසා පළාත් සභා මැතිවරණ දිගටම කල් ගියේය. ඒ නිසා ඇතැම් පළාත් සභාවල මැතිවරණ වසර තුනකට වඩා කල්ගොස් ඇත. එම සභාවල නිල කාලය හමාර වී මැතිවරණ නොපැවැත්වීම නිසා දැනට පවත්නේ ආණ්ඩුකාර පාලනයකි.

යෝජිත පනත් සංශෝධනය ඉතා ඉක්මණින් සම්මත කර ගැනීමටත් ඉන් අනතුරුව කඩිනමින් පළාත් ඡන්ද පැවැත්වීමටත් රජය අපේක්ෂා කරන බව වාර්තා වෙයි. එහෙත් රජයේම ඇතැම් හවුල්කාර පක්ෂ පැරණි සමානුපාතික ක්‍රමයට අකැමැත්ත ප්‍රකාශ කර ඇතැයිද සඳහන්ය.

කෙසේ වුවද බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය පළාත් සභා මැතිවරණ පැවැත්වීමට ප්‍රථම නව ව්‍යවස්ථාව ගෙන එන ලෙස ආණ්ඩුවට දැනුම් දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස