ආසන 3ක වැඩි ඡන්දයෙන් මේ රටේ විධායක ජනාධිපති තෝරන්න ඉඩදෙන්න බෑ! – ගෙවිඳු

August 31, 2020 at 4:34 pm | by emanisa.lk

ආසන කිහිපයක බහුතර ඡන්දයෙන් මේ රටේ ජනාධිපතිවරයා තීන්දු කරනවා නම් සර්වජන ඡන්ද බලයෙන් පලක් නොමැති බව යුතුකම ජාතික සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.

ඊයේ (30) මහනුවර පැවති සම්මන්ත්‍රණයකට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ක්‍රමවේදයෙත් යම් වෙනසක් කිරීම මව්බිම පැත්තෙන් හොඳයි කියලා. අදටත් අපි ඡන්ද ගණනය කරන්නේ මැතිවරණ කොට්ඨාශ සහ දිස්ත්‍රික්ක පදනමින්. එහෙම නම් අපට ඇයි බැරි වැඩිම ඡන්ද ප්‍රමාණය නෙමෙයි, ඇමරිකා එක්සත් ජනපදයේ මෙන් වැඩිම මැතිවරණ කොට්ඨාශ ප්‍රමාණයක් ජයගන්නා අපේක්ෂකයා ජනාධිපති ධුරයට පත් කරන්න?

ඇමරිකාව එහෙම කරන්නේ විශේෂ හේතුවක් ඇතිවයි. ලොව පුරා විවිධ ජන කණ්ඩායම් ඇමරිකාවට ඇවිත් විවිධ ප්‍රාන්තවල පදිංචි වෙනවා. සමහරු රහසිගතව ඇමරිකාවට ඇවිත් පුරවැසිකම ලබා ගන්නවා. නමුත් එවැනි තත්ත්වයක් තුළ පවා ස්වදේශික ජනතාවගේ මව්බිම පිළිබඳ අයිතියට තර්ජනයක් නොවන ආකාරයට තමයි ඇමරිකාවේ ජනාධිපති තෝරන්නේ. රටේ භූමියේ බහුතර බලයක් දිනා නොගත් කෙනෙකුට ඇමරිකාවේ ජනාධිපති වෙන්න බෑ.

අපේ රටේ මැතිවරණ කොට්ඨාශ බෙදලා තියෙන්නෙත් ජනගහනය වගේ ම භූමියත් සැලකිල්ලට අරගෙන. නමුත් 2015 ජනාධිපතිවරයා ස්වදේශීක ජනාධිපතිවරයෙක් කියලා අපට දැනුණේ නෑ. ඔහු වැඩිම ඡන්ද දිනා ගත්තාට භූමියේ බහුතර කොට්ඨාශ ප්‍රමාණයක් දිනාගත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. යාපනය, මඩකලපුව, නුවරඑළිය වැඩි ඡන්ද ලක්ෂය බැගින් අරගෙන අපේ රටේ ජනාධිපතිවරයා තීරණය කරනවා නම් සර්වජන ඡන්ද බලයක් මොකටද?

අනාගතයේ විවිධ චීනය, ඉන්දියාව, බංගලිදේශය ඇතුළු රටවලින් පැමිණෙන කම්කරුවන් පනස් දාහක් හැට දාහක් අරගෙන ගිහින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලන්න පුළුවන් මේ අයට පුරවැසිකම දෙන්න මම ඒ ඡන්ද ටික අරන් දෙන්නම් කියලා. වර්තමාන ජනාධිපතිවරයා එවැන්නක් නොකළත් අනාගතයේ බිහි වන රණසිංහ ප්‍රේමදාස වගේ ජනාධිපතිවරයෙක් ඒ සඳහා එක පයින් එකඟ වෙන්න පුළුවන්. ඒ නිසා ජනාධිපතිවරණය පිළිබඳවත් අපි ගැඹුරින් සිතා බැලිය යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස